Clean Sri Lanka අපි හැමෝගෙම lifestyle එක විය යුතුයි – අගමැති

සෑම විදුහල්පතිවරයෙක්ම තම පාසලේ Clean Sri Lanka වැඩසටහන රටටම ආදර්ශයක් ලෙස ක්‍රියාත්මක කළ යුතු බවත්,  Clean Sri Lanka  වැඩසටහන රටේ සියලුදෙනාගේ  lifestyle එක විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  මහත්මිය පැවසුවාය.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ අරලියගහ මන්දීරයේ දී, අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ Clean Sri Lanka වැඩසටහනේ නිලධාරීන් සමඟ පැවැති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙහිදී  නිලධාරීන් තම අත්දැකීම් නිදසුන් ද සහිතව අග්‍රාමාත්‍යවරිය වෙත ඉදිරිපත් කළහ.

වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

‘‘අපි මේ කරන්න හදන්නේ අදින් වසර පනහකට පමණ පෙර කළ යුතුව තිබු දේවල්. ඒ නිසා මෙය තවත් එක් ව්‍යාපෘතියක්  ලෙස කඩිමුඩියේ කරන්න අවශ්‍ය නෑ.  අපට තව කල් තිබෙනවා.

Clean Sri Lanka කියන්නෙ නිකම්ම නිකං Clean කිරීමක් නෙවෙයි. Clean Sri Lanka කියන්නේ අප හිතන පතන විදිහ, ආකල්ප, චර්යාවන් එක්කම අපි ජීවත්වෙන පරිසරයත් Clean ව පවත්වාගෙන යාමයි.

Clean Sri Lanka අපි හැමෝගෙම lifestyle එක විය යුතුයි. ඒකට  අපේ අනාගත පරපුර, විශේෂයෙන්ම ශිෂ්‍ය ප්‍රජාව හුරු කර ගැනීමට අවශ්‍ය නිසයි අපි Clean Sri Lanka වැඩසටහන පාසලට හදුන්වා දනේනෙ.

මේ වන විටත් පාසල් දරුවන්, දෙමව්පියන් සහ ත්‍රිවිධ හමුදාව වගේම Clean Sri Lanka වැඩසටහනට ස්වේච්ඡාවෙන්ම සහාය දෙන තවත් පාර්ශ්ව ගණනාවක් සම්බන්ධ කරගෙන විශාල වැඩසටහන් ප්‍රමාණයක් සාර්ථකව ක්‍රියාත්මක කර තිබෙනවා.

පාසල් මුල් කරගෙන ක්‍රියාත්මක කරන මේ වැඩසටහන් අනිත් අයත් දැනුවත් වන අන්දමින් ජනතාව අතරට ගෙන යාමට ජනමාධ්‍ය‍යේ සහාය අවශ්‍යයි.

අනිත් වැදගත්ම කාරණය වන්නේ, අවශ්‍ය හැම වෙලාවෙම අපි පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරන Clean Sri Lanka වැඩසටහනට විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අවශ්‍යතා ගැන අදාළ පාර්ශ්වයන්ගේ උපදෙස්  සහ මගපෙන්වීම ලබා ගැනීමයි.

විශේෂයෙන්ම මේ වැඩසටහන යටතේ පාසල්වල ඇති කරමින් යන වැසිකිළි කැසිකිළි පහසුකම්වල දී ආබාධිත ප්‍රජාවන්ගේ පහසුව සහ අවශ්‍යතා පිළිබඳ අනිවාර්යයෙන්ම අවධානය යොමු කළ යුතුයි.

ඒ වගේම මෙම වැඩසටහන යටතේ ඉදිකෙරෙන වැසිකිළි කැසිකිළි ඇතුළු හැමදේකම එකම ආකෘතියක් පවත්වාගත යුතුයි. එක එක තැන්වල එක එක විදිහේ වෙන්න බෑ.

Clean Sri Lanka පාසල්වල ක්‍රියාත්මක කිරීමේදී, ඇතැම් විට ඊට අවශ්‍ය මුදල සපයා ගැනීමේ අපහසුතා මතුවෙනවා.  ඒ සඳහා කඩිනමින්ම විසඳුම් ලබා දීමට අපිට පුලුවන්කම තිබෙනවා.

Clean Sri Lanka පාසල්වලින් ඔබ්බට කාර්මික විද්‍යාල, ගුරු විද්‍යාල සහ විශ්වවිද්‍යාල තුළටත් ගෙන යා යුතුයි.  මෙය තනි පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් ඉලක්ක කරගත් තාවකාලික වැඩසටහනක් නොවෙයි. සමස්ත රටම ඉලක්ක කරගත් දැවැන්ත ජාතික වැඩසටහනක ආරම්භක අවධිය.

අපි මේ ලබන අත්දැකීම්වලින් ඉගෙන ගනිමින් වැරදි අඩුපාඩු හදාගනිමින් ඉදිරියට යමු” යැයි අග්‍රාමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් සඳහන් කළා ය.

මෙම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ Clean Sri Lanka වැඩසටහනේ නිලධාරීන්  පිරිසක් එක්ව සිටියහ.