වන අලි පහරදීමකින් පොලිස් නිලධාරියෙක් මරුට

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ දී වන අලියෙකු පහරදීමෙන් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබෙනවා.

වන අලි පහරදීමෙන් තුවාල ලබා මාර්ගයේ ඇද වැටී සිටි අදාළ පොලිස් නිලධාරියා, එම මාර්ගයේ ගමන් කළ බස් රථයක් මඟින් රැගෙන ගොස් දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වීරලන්ද, අරලගංවිල ප්‍රදේශයේ පදිංචිව සිටි, 53 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ මියගොස් ඇති අතර, ඔහු දෙහිඅත්තකණ්ඩිය පොලිසියට අනුයුක්තව රාජකාරී කරනු ලැබූ පොලිස් සැරයන්වරයෙකු බවයි සඳහන් වෙන්නේ.

සිය රාජකාරිය සඳහා ඔහු පොලිස් ස්ථානය වෙත යමින් සිටියදී මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.