ජූලි 01 සිට වාහන ධාවනයේ දී ආරක්ෂක යෝජනා ක්‍රම 85ක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නවා – බිමල් රත්නායක

ජූලි 01 වැනිදා සිට වාහන ධාවනයේ දී අනුගමනය කළ යුතු ආරක්ෂක යෝජනා ක්‍රම 85ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

ඒ අනුව බස් රථවල ගමන් කරන මගීන් සඳහා ප්‍රවේශ පත්‍ර ලබාදීම අනිවාර්යය කරන බවත් ලංගම සහ පෞද්ගලික බස් රථ ධාවනයේ දී ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇති බවයි කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බිමල් රත්නායක අමාත්‍යවරයා සඳහන් කළේ.

එසේම ජුලි 01 වැනිදා සිට අධිවේගී මාර්ගයේ රියදුරන්ට හා පසුපස ආසනවල මගීන්ටද ආසන පටි පැළඳීම අනිවාර්යය කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

බස් රථ තරගයට ධාවනය වීම වැළැක්වීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

මේ සඳහා පියවරක් ලෙස, 138 මාර්ගයේ ධාවනය වන බස් රථ සඳහා සමූහ සමාගමක් ආකාරයෙන් ස්ථාපිත කර, ලංගම සහ පුද්ගලික බස් රථ සියල්ල එකතුකර, දවස අවසානයේ දී ආදායම බෙදා ගැනීමේ ක්‍රම‍වේදයක් සකස් කරන බවයි ඔහු පවසා සිටියේ.

දවසේ ආදායම ඔවුන්ට නොලැබෙන්නේ නම්, බස් රථවල විනය සෑදීමට නොහැකි බවයි බිමල් රත්නායක අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.