සියල්ලන්ටම අභිමානයෙන් ජීවත්විය හැකි ලස්සන නගරයක් නිර්මාණය කරනවා – කොළඹ පුරපතිනිය

අද දවසේ තමා ලැබූ ජයග්‍රහණය ගැන ඉතා සතුටු වන බවත්, ජනතාව අතට බලය ලැබීම ගැන අවංකව සතුටු වන බවත් කොළඹ නව පුරපතිනිය බවට පත්වූ ව්‍රායි කැලී බල්තසාර් පවසනවා.

සියල්ලන්ටම අභිමානයෙන් ජීවත්විය හැකි ලස්සන නගරයක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන බවත්, ඒ අනුව එය වේදිකාවේ ලබාදුන් බොරු පොරොන්දුවක් නොවන බවත්, ඒ වෙනුවෙන් කැපවී වැඩ කරන බවයි අද (16) ජයග්‍රහණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ.

මෙම ජයග්‍රහණය අත් කර ගැනීමට සහයෝගය ලබාදුන් සියළුම කණ්ඩායම් සමඟ අත්වැල් බැඳ ගනිමින්, මන්ත්‍රීවරු 117 දෙනා සහ ජනතාවගේ ද සහයෝගය සමඟ කොළඹ නගරය සෑදීමට කටයුතු කරන බවද ඇය ප්‍රකාශ කළා.

පොහොසත් නගරයක් සෑදීමට සූදානම් බවයි කොළඹ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.