හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව සැප්තැම්බර් මස 25 වැනිදා විභාගය සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික ජංගම දුරකථනයේ බිල වන රුපියල් 240,000කට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල් වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එහිදී විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවන හෙයින් නඩු විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරු විසින් මෝසමක් ඉදිරිපත් කර තිබෙන බව දැනුම් දුන්නා.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය සඳහන් කළේ මෙය 2015 වසරේ ගොනු කළ නඩුවක් බවත්, නඩුව විභාගය සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙසයි.
ඒ අනුව නඩු විභාගය සැප්තැම්බර් මස 25 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එදින සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසට නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.