යෝජිත විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් විභාගය අවසන් කෙරේ

යෝජිත විදුලි බල සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් පිළිබඳ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසන් කර ඇති අතර, එහි රහසිගත තීන්දුව ඉදිරියේදී පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කර සිටියා.

මෙම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති අභියෝගයට ලක් කරමින්, ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු පාර්ශව හතක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබුණා.

එම පෙත්සම් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගත් අතර, අදාළ පෙත්සම් කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම් අවසන් කෙරුණා.

ඉන් පසුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන කරුණු ඉදිරිපත් කළ අතර, මෙම පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කිරීමට රජය අපේක්ෂා කරන බවයි ඇය සඳහන් කර සිටියේ‍.

යෝජිත පනත් කෙටුම්පත තුළින් දැනට විදුලි බල මණ්ඩලයේ සේවය කරන සේවකයින් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයක් හඳුන්වාදීම සහ ඔවුන් අලුතින් ස්ථාපිත කෙරෙන සමාගමට යලි අනුයුක්ත කර ගැනීම සම්බන්ධයෙන් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වනු ඇති බවත් ඇය සඳහන් කළා.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට අදාළ ලිඛිත දේශන තිබේ නම් ගොනු කිරීමට පියවර ගන්නා ලෙස පාර්ශවකරුවන්ට නියෝග කරනු ලැබුවා.