“වීදියේ සිගමන් යදින, වෙළඳාමේ යෙදෙන සහ වෙනත් අනාරක්ෂිත රැකියා ක්ෂේත්‍ර වල යෙදෙන දරුවන් වෙනුවෙන් තාවකාලික පරිත්‍යාග ලබා දීම වෙනුවට ඔවුන් ගේ අධ්‍යාපන අයිතිවාසිකම් සහ සමාජ සුරක්ෂිතභාවය පිළිබඳ අයිතිවාසිකම් තහවුරු කිරීම අප රජයේ අරමුණයි.”
-කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් –
අද (12) දිනට යෙදී ඇති ජාත්‍යන්තර ළමා ශ්‍රම විරෝධී දිනයට සමගාමීව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව අමතමින් ගරු කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින් මේ බව ප්‍රකාශ කළාය.
රජය ලෙසත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය ලෙසත් බලාපොරොත්තු වන්නේ දරුවන් ආයතන ගත කිරීමට වඩා ඔවුන් පවුල් පාදක රැකවරණය වෙත යොමු කිරීමට බවත්, විකල්ප රැකවරණය අවශ්‍ය අවස්ථා වලදී ඒ වෙනුවෙන් පරිවාස සහ ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව ලෙස අදාළ මැදිහත්වීම් සිදු කරන බවත්, එම සේවා වඩා ගුණාත්මක කිරීම වෙනුවෙන් දැනටමත් ක්‍රියාත්මක වී සිටින බවත් අමාත්‍යවරිය විසින් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
අධ්‍යාපනය ලැබිය යුතු වයසේ ළමුන් වීදියේ සිගමනේ යෙදවීම සහ අන්තරායකර රැකියාවන් වල යෙදවීමටත් එරෙහිව දැනට පවතින නීතිමය ප්‍රතිපාදන ප්‍රමාණවත් වන අතර ඒවා බලාත්මක කිරීම වෙනුවෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩල සටහනක් ඉදිරිපත් කිරීමට නියමිත බවත් එතුමිය ප්‍රකාශ කළාය.
මෙම අවස්ථාව අමතමින් කාන්තා සහ ළමා කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා පවසා සිටියේ අවුරුදු 5 ට අඩු එනම් මුල් ළමා වියේ වෙසෙන දරුවන්ගේ වර්ධනයට සහ සංවර්ධනයට එම දරුවා ඇති දැඩි වන පරිසරය ඉඳුරාම බලපාන බවයි.
එසේ නොවන අවස්ථාවලදී දරුවන් කායික සහ මානසික වශයෙන් සෞඛ්‍ය ගැටලු වලට මුහුන දීමට ඉඩ කඩ ඇති බවත් ප්‍රකාශ කළේය.
අමාත්‍යවරුන් සමඟ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා මහත්මිය, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය, පරිවාස සහ ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනී නිර්මලී පෙරේරා මහත්මිය සහ කම්කරු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (ශ්‍රමප්‍රමිති) එන්.ආර්. රණවක මහත්මිය යන නිලධාරීන් ද එක්ව සිටියහ.