මතුගමදී කඩුවකින් සිදුකළ පහරදීමකින් තරුණයෙක් මරුට

මතුගම, අඹරුල්ලගහවත්ත ප්‍රදේශයේදී පිය පුතු දෙපළකට පුද්ගලයෙකු විසින් කඩුවකින් සිදුකළ පහරදීමකින් එම පුත්‍රයා මියගොස් තිබෙනවා.

ඊයේ (11) රාත්‍රියේ දෙපිරිසක් අතර ඇති වූ ආරාවුලක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුමකදී මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පිය පුතු දෙපළ කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර, එහිදී වයස අවුරුදු 23ක්වූ යටිදොල, නවුත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි අශේන් චාමික පෙරේරා නමැති තරුණයා මියගිය බවයි සඳහන් වෙන්නේ.

පොසොන් උත්සවය නිමිත්තෙන් ඊයේ දහවල් මතුගම නවත්තුඩුව ප්‍රදේශයේදී මෙම පිරිස විසින් බත් දන්සැලක් සංවිධානය කර තිබුණු අතර, එයින් පසුව ඇතිවූ ආරාවුලක් නිසා පහරදීමක් සිදුවී ඇති බවත්, පසුව පහර කෑ පුද්ගලයා විසින් පිය පුතු දෙපළට කඩුවකින් සහ පිහියකින් පහර දී ඇති බවයි වැඩිිදුරටත් සඳහන් වෙන්නේ.

සැකකරු සිද්ධියෙන් පසු පලාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මතුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.