ජනාධිපති සමාව නොදුන් සිරකරුවෙක් නිදහස් වීමේ සිද්ධියට අදාළව වගවීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට ගත්තා නම් ඒ විදියටම අමාත්‍යාංශ ලේකම් සහ ජනාධිපති ලේකම්වත් අත්අඩංගුවට ගන්න ඕනේ යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු ඇමැති උදය ගම්මන්පිල මහතා පැවැසීය.
ඒ මහතා මෙසේ පැවැසුවේ ඊයේ (11) එම පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය.
“අනුරාධපුර බන්ධනාගාරයේ ජනාධිපති සමාව ලබා නොදුන් සිරකරුවකු නිදහස් කිරීම සම්බන්ධයෙන් අධිකාරිවරයාත්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාත් අත්අඩංගුවට ගන්න ආණ්ඩුව තීරණය කළා. කවුද වැරදි කියලා තේරුම් ගන්න නම් ජනාධිපති සමාව දීමේ ක්‍රියාවලිය මුලින්ම තේරුම් ගන්න ඕනෙ. සමාව දීමේ නිර්ණායක සඳහන් කර මේ නිර්ණායකවලට අයිති සිරකරුවන්ගේ ලැයිස්තුවක් ජනාධිපති ලේකම්ට එවන්න කියලා ජනාධිපති ලේකම් විසින් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්ට ලිපියක් යවනවා. ඒ ලිපිය අමාත්‍යාංශ ලේකම් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ට යවනවා. කොමසාරිස් ජනරාල් මේ ලිපිය සෑම බන්ධනාගාරයකම අධිකාරිවරුන්ට යවනවා. එතකොට ඒ නිර්ණායකවලට අදාළ වන සිරකරු ලැයිස්තු හදන අධිකාරිවරුන් ජනරාල් සහ ලේකම් හරහා ජනාධිපති ලේකම්ට යවනවා. ජනාධිපති ඒකට අත්සන් කරනවා. ඒ ලැයිස්තුව නැවත ජනාධිපති ලේකම් අමාත්‍යාංශ ලේකම් සහ කොමසාරිස් ජනරාල් හරහා බන්ධනාගාර අධිකාරිවරුන්ට යනවා. එහෙම නම් සිරකරු නමක් හොරෙන් ඇතුළු කරන්න පුළුවන් හතර දෙනකු ඉන්නවා. ජනාධිපති ලේකම්, අධිකරණ ලේකම්, කොමසාරිස් ජනරාල් සහ බන්ධනාගාර අධිකාරි. නම ඇතුළු කළේ බන්ධනාගාර අධිකාරි නම් අධිකාරි අත්අඩංගුවට ගන්න ඕනෙ. හැබැයි කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට ගන්න හේතුවක් නෑ. නම ඇතුළු කළේ කොමසාරිස් ජනරාල් නම් කොමසාරිස් ජනරාල් ඇතුළේ ඉන්න අතරේ අධිකාරි එළියේ ඉන්න ඕනෙ. මේ දෙන්නාම එකවර ඇතුළේ ඉන්න පුළුවන්කමක් නෑ. වගවීම යටතේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට ගත්තා නම් මේ කාරණයට සම්බන්ධ ඊටත් ඉහළින් තවත් දෙදෙනකු ඉන්නවා. ඒ තමයි අමාත්‍යාංශ ලේකම් සහ ජනාධිපති ලේකම්. වගවීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට ගත්තා නම් ඒ විදියටම අමාත්‍යාංශ ලේකම් සහ ජනාධිපති ලේකම්වත් අත්අඩංගුවට ගන්න ඕනෙ.”
රන්මලී සෝමසිරි