නීති විරෝධී ධීවර කටයුතු කළ 76ක් නාවික හමුදා භාරයට

තහනම් ධීවර දැල් සහ පන්න ක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයන් 76 ක් සමඟ ඩිංගි යාත්‍රා 20ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ අනුව පසුගිය මැයි 26 සිට ජුනි 07 දක්වා වූ කාලය තුළ දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකළ මෙහෙයුම් මගින් මෙම පිරිස සිය භාරයට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

යාපනය, කඩෙයිකාඩු සහ පුදුමාතලන්, ත්‍රිකුණාමලය කල්ලඩිචේනයි, අඩුක්කුපාඩු, කොඩ්බේ, පොඩුවකට්ටු, කුච්චවේලි සහ සල්පේආරු මෙන්ම මඩකලපුව ‍පලමින්මාඩු යන වෙරළ සහ මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි උතුරු සහ නැගෙනහිර නාවික විධාන මගින් මෙම මෙහෙයුම් සිදුකර තිබෙනවා.

මෙහිදී තහනම් ධීවර දැල් භාවිතයෙන්, විදුලි ආලෝක ධාරා භාවිතයෙන් සහ රාත්‍රී කාලයේ නීති විරෝධි ලෙස කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලීම හේතුවෙන් මෙම සැක‍කරුවන් නාවික හමුදා භාරයට පත්ව ඇති අතර, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් තහනම් ධිවර ආම්පන්න සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, ත්‍රීකුණාමලය, ඊචලම්පත්තු, මුලතිව්, කුච්චවේලි, කොඩ්බේ සහ මඩකලපුව ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.