රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන යෝජිත විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව විදුලිබල ඉංජිනේරු සංගමය ඇතුළු පාර්ශ්ව 07ක් විසින් ඉදිරිපත් කළ පෙත්සම් ඊයේ (11) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ කෙරුණා.
ඒ.එච්.එම්.ඩී. නවාස්, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය සිදුවූ බවයි සඳහන් වෙන්නේ.
යෝජිත පනත් කෙටුම්පත තුළින් විදුලිබල මණ්ඩලය සමාගමක් බවට පත්වන බවට පැහැදිලිව දක්වා ඇති බවද, එහි කොටස් භාණ්ඩාගාර ලේකම්වරයා යටතේ පාලනය වන බව දක්වා ඇති බවද විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උදිත ඉගලහේවා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නා.
ජලය මගින් උත්පාදනය කරන විදුලිය පාලනය කරන ආකාරය එම පනත් කෙටුම්පත තුළින් පැහැදිලිව සඳහන් කර නොමැති බවද, මේ තුළින් ජල විදුලිය පාලනය කිරීමේ බලය පෞද්ගලික සමාගම් වෙත පැවරීමට හැකියාව තිබෙන බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
යෝජිත පනත් කෙටුම්පත තුළින් විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට වන්දි ගෙවීම සම්බන්ධයෙන් පැහැදිලිව කරුණු දක්වා දක්වා නොමැති බවත්, වන්දි ගෙවීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වන බව සඳහන් කලද, එය ක්‍රියාත්මක කරන ආකාරය පැහැදිලිව දක්වා නොමැති බවයි ඔහු පෙන්වා දී තිබෙන්නේ.
යෝජිත පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් ප්‍රතිපාදනවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බැවින්, එම වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.