කොළඹ නගරාධිපති ධුරය ගැන විපක්ෂයේ පක්ෂ තවදුරටත් සාකච්ඡා පවත්වයි

කොළඹ මහ නගර සභාව ලබන සඳුදා රැස්වීමට නියමිතව ඇති අතර, එහිදී පවත්වන ඡන්දයෙන් නව නගරාධිපති තෝරා ගැනීමට නියමිතව තිබෙනවා.

කොළඹ නගරාධිපති ධුරය සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ මේ දිනවල විවිධ සාකච්ඡාවල නිරත වන අතර, විපක්ෂයේ සියලු කණ්ඩායම් එකතු වී කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන බව සමගි ජන බලවේගය පවසනවා.

ඒ අනුව, සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඊයේ මේ පිළිබඳව පක්ෂ නායක කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වූ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද ඊයේ රාත්‍රියේ සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡාවල නිරත වී තිබෙනවා.

පසුගියදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු දේශපාලන පක්ෂයකට කොළඹ මහ නගර සභාවේ බහුතර බලය දිනා ගැනීමට නොහැකි වුණා.