බේරුවල පොලීසියේ අපරාධ අංශයේ OIC ඇතුළු නිලධාරීන් තිදෙනෙක් පහරදීමක් නිසා රෝහල්ගත කෙරේ

බේරුවල ප්‍රදේශයේදී පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් බේරුවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව බේරුවල ධීවර වරාය ආසන්නයේ පොලිසිය සහ කොඩි එල්ලමින් සිටි පිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් පසු මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

බේරුවල වරාය ආසන්නයේ පිරිසක් ලොරි රථයක නැගී කොඩි එල්ලමින් සිට ඇති අතර, මාර්ගය අවහිර නොකරන ලෙසට පොලීසිය උපදෙස් දී ඇති අතර එහිදී දෙපාර්ශවය අතර බහින්බස්වීමක් සිදුවී තිබෙනවා.

පසුව ඔවුන් පොලීසියට පහර දී ඇති අතර පිරිස පාලනය කිරීම සඳහා පොලීසිය විසින් අහසට වෙඩිතබා තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.