ශිෂ්ටසම්පන්න සමාජයක් ගොඩනගන්න එකාවන්ව පෙළගැසෙමු

ජනාධිපති, අනුර කුමාර දිසානායක
ශ්‍රී ලාංකිකයන් ප්‍රාර්ථනා කරන සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තනය යථාර්ථයක් කරගත හැක්කේ ශිෂ්ටසම්පන්න සමාජය ගොඩනැඟීමෙන් පමණක් බව තමා තරයේ විශ්වාස කරන බවත්, එම සාමූහික ප්රයත්නය වෙනුවෙන් සියලු දෙනා එකාවන්ව පෙළගැසෙමු’යි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොසොන් පණිවිඩය නිකුත් කරමින් ප්‍රකාශ කර සිටි.
පොසොන් පොහොය ශ්‍රී ලාංකේය අපට සුවිශේෂී වූ සිදුවීම් සමුදායක් සිදු වූ වැදගත් දිනයකි. ථෙරවාද බෞද්ධ දර්ශනයේ හා සම්ප්රදායේ කේන්ද්‍රස්ථානයක් බවට අපේ රට පත්වීමේ ආරම්භය සනිටුහන් වූයේ අනුබුදු මිහිඳු හිමියන්ගේ ලංකාගමනය සිදු වූ ඒ අසිරිමත් පොසොන් පොහොය දිනයේදීය.
සමාජ පරිවර්තනයත් සමඟ ආධ්‍යාත්මික ප්රබෝධයක් ජනිත කිරීමට හේතු වූ එම අසිරිමත් සිදුවීම හුදු ආගමික අර්ථයෙන් ඔබ්බට ගිය අප රටෙහි සංස්කෘතික, සමාජයීය හා දේශපාලනික ආදී සෑම අංශයකම වඩා දියුණු සැකැස්මක් නිර්මාණය කිරීමට සමත් විය. බුදු දහම හා බැඳුණු ජීවන රටාවකට මඟපාදමින් සාරධර්මවලින් පොහොසත් ජන සමාජයක් බිහි වීමට ද එය හේතුවක් විය.
එසේම, තිස්ස නිරිඳු අතින් දුනුහී ගිලිහීමෙන් සංකේතවත් වන්නේ පාලකයා සහ ජනතාව හිංසාව ඉවතලා අවිහිංසාව වැලඳ ගැනීමයි. පොසොන් පොහොය දිනයෙන් ප්‍රකට කෙරෙන වටිනාකම් තුළ ඉස්මතු කර දැක්විය යුතු මහඟු ගුණාංගයක් වන්නේ අවිහිංසාවයි.
විශේෂයෙන්ම මුළුමහත් ලෝකයම විවිධ මට්ටම්වලින් හිංසාවෙන් පීඩාවට පත්ව සිටින වත්මනෙහි අවිහිංසාව යනු තමන්ගේ ද, අනෙකාගේ ද ජීවන නිදහස හා අයිතිය සුරක්ෂිත කරන සනාතන වටිනාකමක් ලෙස සියලු හදවත්හි රඳවා ගත යුත්තකි, උගත යුතු හැසිරීමකි. එබැවින් පොසොන් පොහොය දිනයෙන් මූර්තිමත් වන අවිහිංසාවෙහි අගය වඩාත්ම දැනෙනුයේ අදටය.
අනුබුදු මිහිඳු හිමියන් මෙරටට දායාද කළ උතුම් බුදු දහමේ තැනෙක “සරු දෙය සරු ලෙසත්, නිසරු දෙය නිසරු ලෙසත්” දැකිය යුතු බව කියවේ. අවශ්‍ය වන්නේ එම චින්තනය දරාගත් ශිෂ්ටසම්පන්න සහ වගකීම් සහගත මිනිසුන්ය.
එම සමාජය නැවත ලක් පොළොව මත ප්‍රතිෂ්ඨාපනය කරමින් රටට ඇවැසි ආචාරධාර්මික, සමාජයීය සහ පාරිසරික වශයෙන් නව ආකල්ප සහිත නූතන ශිෂ්ටසම්පන්න රාජ්‍යය ගොඩනැඟීමේ පරම වගකීම අප දෙවුර මත පැට වී තිබේ.
අප ප්‍රාර්ථනා කරන සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තනය යථාර්ථයක් කරගත හැක්කේ එම ශිෂ්ටසම්පන්න සමාජය ගොඩනැඟීමෙන් පමණක් බව මම තරයේ විශ්වාස කරමි. එම සාමූහික ප්රයත්නය වෙනුවෙන් සියලු දෙනා එකාවන්ව පෙළගැසෙමු’යි මෙම පොසොන් පොහොය දිනයේදී ඔබ සියලු දෙනාට ආරාධනා කරමි.
ලක්වාසී සැමගේ සිත්සතන් ධර්මාවබෝධයෙන් ආලෝකවත් වන පින්බර පොසොන් පොහොය දිනයක් වේවා!
පොසොන් පොහොය නව යුගයට පින්බර ආශීර්වාදයක් වේවා

අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය
සමස්ත රටම නැවතත් නව පුනරුද යුගයක් වෙනුවෙන් කලඑළි වන සමයක, මෙවර පොසොන් පොහොය ඒ නව යුගයට පින්බර ආශීර්වාදයක් වේවායි යන්න සිය ප්‍රාර්ථනය බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පොසොන් පොහෝ දිනය වෙනුවෙන් පණිවිඩයක් නිතුත් කරමින් පැවසුවාය.
මිහිඳු මහරහතන් වහන්සේ උතුම් සද්ධර්මයේ පණිවිඩය රැගෙන ලක්දිවට වැඩම කළ සුවිශේෂී අවස්ථාව ඉමහත් ගෞරවයෙන් සමරන සියලු බෞද්ධ බැතිමතුන්ට පින්බර පොසොන් පුන් පොහෝ දිනයක් වේවායි ප්‍රාර්ථනා කරන බව අගමැතිනිය නිකුත් කළ පණිවිඩයේ සඳහන් වේ.
එම පණිවිඩයේ මෙසේ ද සඳහන් වේ.
“අනුබුදු දහමින් ලොවම නිවේවා” යන්න මෙවර රාජ්‍ය පොසොන් උත්සවයේ තේමා පාඨය යි. ඒ අනුව ලොව ශ්‍රේෂ්ඨ ධර්ම මාර්ගයක එළිය අපගේ ජීවිත වෙත ළඟා කරදීමට අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ගමන් කළ සදහම් මඟ පිළිබඳ යළි යළිත් සිතමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙන් අපගේ ජීවිත වෙත ආලෝකය සහ ශාන්තිය ළඟා කරගැනීම උදෙසා කටයුතු කිරීම ඉතා වැදගත් වේ.
බෞද්ධාගමික ඉතිහාසයට අනුව මෙරට තුළ අවිහිංසාවාදී ජන ප්‍රජාවක් බිහි වීමේහිලා පළමු පියවර තැබෙන්නේ ද පොසොන් පෝදා නිමිති කරගනිමිනි. උදාර සංස්කෘතික ජීවිතයක් ඇති සහකම්පනයෙන් යුතු ජනතාවක් බිහි කිරීමේ පරම වගකීම දරාගත් රජයක් ලෙස අපි අනුබුදු මිහිඳු හිමියන් රැගෙන ආ අවිහිංසාවාදයේ හා සහජීවනයේ පණිවිඩය තව තවත් ඔපමට්ටම් කරමින් බබළවන්නට උපරිම වෙර දරන්නෙමු.
සැමට පින්බර පොසොන් මංගල්‍යයක් වේවා.
බුදු දහමේ මඟ අනුව යමින් ස්වයංපෝෂිත රටක් කරා පියනගමු

විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස
බුදු දහමේ මඟ අනුව යමින් නැවතත් ස්වයංපෝෂිත රටක් කරා පියනගමු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පොසොන් පොහොය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී.
එම පණිවිඩයේ මෙසේ ද සඳහන් වේ.
බුදුරජාණන් වහන්සේ විසින් වදාළ අති උතුම් සද්ධර්මය රැගෙන මෙරටට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සිහිපත් කරමින් වසර දහස් ගණනක සිට අප රටේ ජනතාව ඉමහත් ශ්‍රද්ධාවෙන් භක්තියෙන් පොසොන් උත්සවය සමරනු ලැබේ.
මිහිදු මහරහතන් වහන්සේගේ ලංකාගමනයත් සමඟ අප රටට බුදුදහම පමණක් නොව තවත් කලා ශිල්ප, සංස්කෘතීන් නියෝජනය කරමින් 18ක කුලයක ප්රවීණයන්ගේ ආභාෂය ද ලැබුණු බව ඓතිහාසික මූලාශ්‍ර සාක්ෂි දරයි. එම කලා ශිල්ප අප රටේ සංස්කෘතියට සිදු කළ බලපෑම අතිමහත් ය.
එතෙක් ගස්, ගල්වලට වන්දනාමාන කරමින් සිටින ජනතාවගේ ජීවිතයට අර්ථයත් නිවැරැදි ධර්මයත් ලැබිණි. එකී ධර්මයත් කලා ශිල්පත් නිසා වසර දහස් ගණනක සිට අප රටේ දියුණුව සෑදුණි. ජන ජීවිතයේ සෑම අංගයක්ම බුදු දහම හා බැඳුණු අතර එය වඩාත් යහපත් රාජ්‍ය පාලනයක් සහ ජන ජිවිතයක් ඇති කරලීමෙහිලා හේතු විය.
රටක් ලෙස සශ්‍රීක වී ස්වයංපෝෂිත විය යුතුය. ඒ සඳහා බුදුදහමින් පෙන්වා දුන් නිවැරැදි මඟපෙන්වීම ලබාගෙන ඉදිරියට යා යුතුය. සෙසු ආගම්වලට හිමි නිසි තැන ලබා දෙමින් බුදු දහම ආරක්ෂා කිරීම රාජ්‍යයේ වගකීම විය යුතුය. එකී වගකීම නොපිරිහෙළා ඉටු කිරීමට මේ පොසොන් පොහෝ දිනයේ සිටම සියලු දෙනා අදිටන් කර ගත යුතුය.