ශ්‍රී ලංකා-ජර්මන් මිතුදම තවදුරටත් ශක්තිමත් කරමින් දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (10) ජර්මනිය බලා පිටත්ව යාමට නියමිතව තිබේ. ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර් මහතාගේ ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළඹෙන 13දා දක්වා ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජර්මානු ජනාධිපතිවරයා, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු සහයෝගීතාව සඳහා නව මාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ද නියමිතව තිබේ.
ජනාධිපතිවරයා විසින් ජර්මානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරන ව්‍යාපාරික සංසදයේ ප්‍රධානත්වය දරනු ලබන අතර, එහි දී ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය, පවතින ආයෝජන අවස්ථා, රටේ වර්ධන විභවය සහ දෙරට අතර නව වෙළෙඳ සබඳතා ගොඩනැඟීමේ අවස්ථා පිළිබඳ අවධාරණය කරනු ඇත.
ඊට අමතරව මෙම සංචාරයේ දී ජනාධිපතිවරයා විසින් ජර්මනියේ සංචාරක හා සංචාරක කර්මාන්ත සංගම්වල නියෝජිතයන් හමුවන අතර මෙම සංචාරයට ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද සහභාගි වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.
මහින්ද අලුත්ගෙදර