කොළඹ වරාය තුළ පසුගිය ජනවාරි මාසයේදී ඇතිවූ තදබදයක් පාලනය කිරීමට ශ්‍රී ලංකා රේගුව විසින් ගත් තීරණයකට අනුව පරීක්ෂාවකින් තොරව මුදා හරින ලදැයි කියන කන්ටේනර් 323ක් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍යවරයෙක් වන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාගෙන් ඊයේ (09) දීර්ඝ ලෙස ප්‍රශ්නකර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. එම කන්ටේනර් නිදහස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වාර්තාවක් කැඳවා ඇති අතර ඊට අනුව නිසි රේගු බදු ගෙවීමෙන් අනතුරුව එම භාණ්ඩ කන්ටේනර් නිදහස්කර ඇති බව රේගුව පාර්ශ්වයෙන් සඳහන් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
නිදහස් කරන ලද මෙම කන්ටේනර්වල නීති විරෝධී දෑ තිබුණු බවට සැකමතුකරමින් උදය ගම්මන්පිල මහතා ඇතුළු දේශපාලනඥයන් කිහිප දෙදෙනකු විසින් කර ඇති ප්‍රකාශ පදනම්කරගෙන කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භකර තිබේ.
“නිදහස් කළ කන්ටේනර් අතර නීති විරෝධි යමක් ඇති කන්ටේනරයක් තිබුණේ නම් එම කන්ටේනරයේ අංකය මෙන්ම එහි තිබුණේ කුමක්දැයි පැහැදිලිවම ඒ සම්බන්ධයෙන් විවිධ චෝදනා කරන අයට කියන්න හැකියාව තිබිය යුතුයි. අපිට විමර්ශන ඉදිරියට කරගෙන යාමට එය ලොකු සහයක් වෙනවා. කන්ටේනර්වල නීති විරෝධී දෑ තිබුණු බව කියන විවිධ පුද්ගලයන් ගෙන්වමින් අපි ප්‍රශ්න කරනු ලබන්නේ ඒ බව අනාවරණය කර ගන්නයි. හැබැයි තාමත් අපිට එම කන්ටේනර්වල නීති විරෝධි යමක් තිබුණු බව පැහැදිලිවම කිසිවකුත් සඳහන් කරල නැහැ.“ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
ගයාන් කුමාර වීරසිංහ