
චන්ද්‍රාණිට – අයථා බඳවා ගැනීම්
මූල්‍ය අක්‍රමිකතා ඇතුළු විවිධ චෝදනා එල්ල වී ඇති හිටපු ඇමැතිවරුන් වන මර්වින් සිල්වා, චන්ද්‍රාණි බණ්ඩාර හා නාමල් රාජපක්ෂ මහත්වරුන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පසුගියදා අධි චෝදනා භාරදී තිබේ.
කම්කරු හා මහජන සම්බන්ධතා ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ වසර දෙකක කාලය තුළ නීත්‍යනුකූල ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි 15කට අධික මුදල් හා දේපොළ උපයාගත් බවට වන චෝදනාවට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට අධි චෝදනා භාර දී ඇත.
කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියට අධි චෝදනා භාරදී ඇත්තේ නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය නොකරමින් වියළි කලාප සංවර්ධන ව්‍යාපෘතියේ අධ්යක්ෂ ජනරාල් ධුරයට පුද්ගලයකු පත් කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයා පොළඹවන ලද බවට එල්ල වී ඇති චෝදනාවකටය.
ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනාවට ලක්ව ඇති හිටපු ඇමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අධි චෝදනා ගොනු කර ඇත්තේ නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා පත්රයකට අනුවය. හිටපු ඇමැතිවරුන් දෙදෙනකු වන මර්වින් සිල්වා සහ චන්ද්‍රාණි බණ්ඩාර අල්ලස් පනත යටතට ගැණෙන වැරදි සිදු කර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙලෙස පවරා තිබූ නඩු විභාගයට ගැනීමට දින නියම කිරීමද මෙහිදී සිදු කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් මාර්තු මාසයේ දී හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා අත්අඩංගුවට ගන්නා ලද්දේ කැලණිය ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් කූට ලේඛන සකස්කර මුදල් වංචාකිරීමේ චෝදනාවකට අදාළව වන අතර සිය නීත්‍යනුකූල ආදායම අබිබවා රුපියල් කෝටි ගණනක දේපළ වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.
උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි ආදායම් මාර්ග ඔස්සේ අති විශාල දේපොළ ප්‍රමාණයක් අත්පත් කර ගැනීම ඔහුට එරෙහිව එල්ල වී තිබෙන ප්‍රධාන චෝදනාව වන අතර මේ දේපළ යටතට, කඩවතින් මිල දී ගන්නා ලද රුපියල් ලක්ෂ 139ක වටිනාකමකින් යුතු ඉඩමක්, කොළඹ 7න් මිල දී ගන්නා ලද රුපියල් ලක්ෂ 713ක් වටිනා ඉඩමක්, සිය පුත් මාලක සිල්වා වෙනුවෙන් මිල දී ගෙන තිබෙන රුපියල් ලක්ෂ 323ක වටිනාකමකින් යුක්ත මර්සිඩීස් බෙන්ස් රථයක්, රුපියල් ලක්ෂ 55ක් වටින තවත් මෝටර් රථයක් සහ රුපියල් ලක්ෂ අසූ අටක් වටිනාකමකින් යුත් ඩිෆෙන්ඩර් රථයක් ඇතුළත්ය. හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අදාළ දේපළ මිලදී ගෙන ඇත්තේ 2010 මාර්තු 31ත් 2012 මාර්තු 31ත් අතර කාලයේ දී බවට විමර්ශන අනාවරණය කර ඇත. හිටපු ඇමැති නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ඇති සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියම කර තිබේ.
සුභාෂිණී සේනානායක