නාමල්ට-මර්වින්ට චන්ද්‍රාණිට අධි චෝදනා

චන්ද්‍රාණිට – අයථා බඳවා ගැනීම්

මූල්‍ය අක්‍ර­මි­කතා ඇතුළු විවිධ චෝදනා එල්ල වී ඇති හිටපු ඇමැ­ති­ව­රුන් වන මර්වින් සිල්වා, චන්ද්‍රාණි බණ්ඩාර හා නාමල් රාජ­පක්ෂ මහ­ත්ව­රුන්ට එරෙ­හිව කොළඹ මහා­ධි­ක­ර­ණය හමුවේ පසු­ගි­යදා අධි චෝදනා භාරදී තිබේ.

කම්කරු හා මහ­ජන සම්බ­න්ධතා ඇමැ­ති­ව­රයා වශ­යෙන් කට­යුතු කළ වසර දෙකක කාලය තුළ නීත්‍ය­නු­කූල ආදා­ය­ම්ව­ලින් උප­යා­ගත නොහැකි රුපි­යල් කෝටි 15කට අධික මුදල් හා දේපොළ උප­යා­ගත් බවට වන චෝද­නා­වට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහ­තාට අධි චෝදනා භාර දී ඇත.

කාන්තා හා ළමා කට­යුතු සහ වියළි කලාප සංව­ර්ධන අමා­ත්‍ය­ව­රිය ලෙස කට­යුතු කළ චන්ද්‍රාණි බණ්ඩාර මහ­ත්මි­යට අධි චෝදනා භාරදී ඇත්තේ නිසි ක්‍රියා පටි­පා­ටිය අනු­ග­ම­නය නොක­ර­මින් වියළි කලාප සංව­ර්ධන ව්‍යාපෘ­තියේ අධ්‍යක්ෂ ජන­රාල් ධුර­යට පුද්ග­ල­යකු පත් කිරී­මට අමා­ත්‍යාංශ ලේක­ම්ව­රයා පොළ­ඹ­වන ලද බවට එල්ල වී ඇති චෝද­නා­ව­ක­ටය.

ක්‍රිෂ් ගනුදෙනු­වේදී රුපි­යල් මිලි­යන 70ක මුද­ලක් සාප­රාධී සාවද්‍ය පරි­හ­ර­ණය කළේ යැයි චෝද­නා­වට ලක්ව ඇති හිටපු ඇමැති, පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහ­තාට අධි චෝදනා ගොනු කර ඇත්තේ නීති­ප­ති­ව­රයා විසින් ගොනු­කර තිබූ අධි චෝදනා පත්‍ර­ය­කට අනු­වය. හිටපු ඇමැ­ති­ව­රුන් දෙදෙ­නකු වන මර්වින් සිල්වා සහ චන්ද්‍රාණි බණ්ඩාර අල්ලස් පනත යට­තට ගැණෙන වැරදි සිදු කර ඇති බවට චෝදනා කර­මින් අල්ලස් කොමි­සම විසින් මෙලෙස පවරා තිබූ නඩු විභා­ග­යට ගැනී­මට දින නියම කිරී­මද මෙහිදී සිදු කර තිබේ.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් ඉකුත් මාර්තු මාසයේ දී හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා අත්අ­ඩං­ගු­වට ගන්නා ලද්දේ කැල­ණිය ප්‍රදේ­ශයේ ඉඩ­මක් සම්බ­න්ධ­යෙන් කූට ලේඛන සක­ස්කර මුදල් වංචා­කි­රීමේ චෝද­නා­ව­කට අදා­ළව වන අතර සිය නීත්‍ය­නු­කූල ආදා­යම අබි­බවා රුපි­යල් කෝටි ගණ­නක දේපළ වාහන සහ බැංකු ගිණුම් පව­ත්වා­ගෙන යාම තුළින් අල්ලස් පනත යටතේ වර­දක් කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.

උප­යා­ගත් ආකා­රය හෙළි කළ නොහැකි ආදා­යම් මාර්ග ඔස්සේ අති විශාල දේපොළ ප්‍රමා­ණ­යක් අත්පත් කර ගැනීම ඔහුට එරෙ­හිව එල්ල වී තිබෙන ප්‍රධාන චෝද­නාව වන අතර මේ දේපළ යට­තට, කඩ­ව­තින් මිල දී ගන්නා ලද රුපි­යල් ලක්ෂ 139ක වටි­නා­ක­ම­කින් යුතු ඉඩ­මක්, කොළඹ 7න් මිල දී ගන්නා ලද රුපි­යල් ලක්ෂ 713ක් වටිනා ඉඩ­මක්, සිය පුත් මාලක සිල්වා වෙනු­වෙන් මිල දී ගෙන තිබෙන රුපි­යල් ලක්ෂ 323ක වටි­නා­ක­ම­කින් යුක්ත මර්සි­ඩීස් බෙන්ස් රථ­යක්, රුපි­යල් ලක්ෂ 55ක් වටින තවත් මෝටර් රථ­යක් සහ රුපි­යල් ලක්ෂ අසූ අටක් වටි­නා­ක­ම­කින් යුත් ඩිෆෙ­න්ඩර් රථ­යක් ඇතු­ළත්ය. හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අදාළ දේපළ මිලදී ගෙන ඇත්තේ 2010 මාර්තු 31ත් 2012 මාර්තු 31ත් අතර කාලයේ දී බවට විම­ර්ශන අනා­ව­ර­ණය කර ඇත. හිටපු ඇමැති නාමල් රාජ­පක්ෂ මහ­තාට එරෙ­හිව ඇති සිද්ධිය සම්බ­න්ධ­යෙන් ඔහුගේ ඇඟිලි සල­කුණු ලබා­ගෙන වාර්තා­වක් කැඳ­වන ලෙසත් මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා නියම කර තිබේ.

සුභා­ෂිණී සේනා­නා­යක