හොර රහසේ චීනයට පටවන්න හැදූ පළිඟු පාෂාණ ගැන හිරු CIA අනාවරණය

තිරුවානා පාෂාණ මුවාවෙන් වටිනා පළිඟු පාෂාණ බහාලුම් 4 ක් වංචනික ලෙස චීනයට පැටවීමේ ජාවාරමක් පිළිබඳව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

හිරු සී.අයි.ඒ.ලබාදුන් තොරතුරු මත එම බහාලුම් 4 භූ විද්‍යා නිලධාරීන් සොයාගනු ලැබුවේ බලපත්‍ර කොන්දේසි සියල්ල උල්ලංඝනය කර සේදවත්ත බහාලුම් අංගනයක් තුළ ගාල් කර තිබියදීයී.

විනිවිද පෙනෙන අර්ධ මැණික් ලෙස හඳුන්වන මෙම වටිනා ඛනිජ නිධි මෙරට තුළ පැතිර පවතින්නේ මාතලේ, වැල්ලවාය, බලංගොඩ ආදී අතිශය සීමිත ප්‍රදේශයක පමණයි.

මෙම ඛනිජයෙන් නිපදවන ආභරණ පැළඳීමෙන් හා විසිතුරු නිර්මාණ ළඟ තබා ගැනීමෙන් ඉහළ ධන ආකර්ෂණයක් ලැබෙන බවට චීන ජාතිකයන් තුළ අධික විශ්වාසයක් පැවතීම හේතුවෙන් මීට ඇත්තේ ඉහළ ඉල්ලුමක්.

පසුගිය සමයේ මෙම පළිඟු පාෂාණ තිරුවානා ලෙස හඳුන්වමින් ටොන් ගණනින් චීනයට මෙරටින් අපනයනය කර තිබුණා.

එම වංචා වැළැක්වීමට මේ වසරේ අප්‍රෙල් මස 17 වනදා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය දැනුම් දුන්නේ එදින සිට විනිවිද පෙනෙන වීදුරු පෙනුමැති ඛනිජ, ‍මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හරහා අපනයනය කරන බැවින් ඒ සඳහා තම කාර්යාංශය අවසර නොදෙන බවයි.

රජයේ ආයතන කුමන නීති පැනවුව ද මෙරට සතු වටිනා පළිඟු ඛනිජ හොර රහසේ රටින් පිටකිරීමට සංචාරක වීසා මත පැමිණි චීන ජාතිකයින් කණ්ඩායමක් මාතලේ කවුඩුපැලැල්ලේ කැණීම් භූමියේ නීති විරෝධීව පළිඟු පාෂාණ සොයන බව හිරු සී.අයි.ඒ.හෙළි කර ගත්තා.

දැඩි අනාරක්ෂිත තත්ත්වයෙන් පවත්වාගෙන යන මෙම කැණීම් භූමිය මිනිස් ජීවිත පවා බිළිගෙන ඇතත් භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ පතල් සුරක්ෂිතතා අංශයෙන් ඊට වගකිවයුත්තන් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ.

මේ අතරවාරයේ මෙරටින් පිට කිරීමට තහංචි පනවා ඇති විශාල ප්‍රමාණයේ පළිඟු ඛනිජ ඇතුළත් බහාලුම් 4 ක් හොර රහසේ මෙරටින් පිටකිරීමට ගාල්ලේ පිහිටි සමාගමක් උත්සාහ දරන බව ද හිරු සී.අයි.ඒ. හෙළි කරගත්තා.

එම බහාලුම් 4 මාතලේ කවුඩුපැලැල්ලේ කැණීම් භූමියේ සිට කුරුණෑගල,වරකාපොල,හංවැල්ල හරහා ගාල්ල ප්‍රදේශයට රැගෙන යාමට අවසර ගෙන පසුව වංචනිකව ඒවා කොළඹ සේදවත්ත කන්ටේනර් අංගනයක් වෙත නීති විරෝධීව රැගෙන එන අයුරු හා එහි ගාල් කර ඇති අයුරු අප අනාවරණ කරගත්තේ දර්ශන සාක්ෂි ද සහිතවයි.

භූ විද්‍යා කාර්යාංශයෙන් නිකුත් කළ ප්‍රවාහන බලපත්‍ර කොන්දේසි අමු අමුවේ උල්ලංඝනය කරමින් එහි කිසිදු සටහනක් නොමැතිව මෙම බහාලුම් සේදවත්ත දක්වා ගෙනවිත් ඒවා චීනයට පිටකිරීම සැලසුම් කර තිබු බව අනාවරණ වූයේ අපනයනය සඳහා එම බහාලුම් ලබාගත් ආයතනයෙන් කළ විමසීම මතයි.

භූ විද්‍යා කාර්යාංශ නිලධාරියෙකු පසුගිය සඳුදා එම නීති විරෝධී බහාලුම් 4ට මුද්‍රා තැබූ අතර එහි නිලධාරී මණ්ඩලයක් මගින් ඊයේ එම බහාලුම් පරීක්ෂා කළා.

එහිදී විනිවිද පෙනෙන විශාල ප්‍රමාණයේ පළිඟු පාෂාණ ඇතුළු විවිධ වර්ගවල පාෂාණ, එම බහාලුම් 4 තුළම අන්තර්ගතව ඇති බව භූ විද්‍යා නිලධාරීන් සනාථ කරගත්තා.

භු විද්‍යා කාර්යාංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් දීපානි වීරකෝන් මහත්මිය ප්‍රකාශ කළේ මෙම නීති විරෝධී ක්‍රියා පිළිබඳ නීතිමය පියවර ගන්නා බවයි.

මෙම බහාලුම් චීනයට පැන්නීමට සැලසුම් කළ පාර්ශ්වවලට එරෙහිව භූ විද්‍යා නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කරන අයුරු රට හමුවේ අනාවරණය කිරීමටත් හිරු සී.අයි.ඒ.ඉදිරියේදී සූදානම්.