පොසොන් වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර

පොසොන් උත්සවය වෙනුවෙන් අනිද්දා සිට ලබන 12 වැනිදා දක්වා කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. 

ඒ අනුව කොළඹ කොටුවේ සිට අනුරාධපුර දක්වා දුම්රිය ගමන් වාර 20 ක් සහ අනුරාධපුරයේ සිට මිහින්තලේ දක්වා දුම්රිය ගමන් වාර 36 ක් ක්‍රියාත්මක බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර කියා සිටියේ. 

අදින් ආරම්භ වූ පොසොන් සතිය ලබන 13 වනදා දක්වා ක්‍රියාත්මක වනවා. 

අනුරාධපුර නගරය, මිහින්තලය සහ තන්තිරිමලය යන සිද්ධස්ථාන කේන්ද්‍ර කරගෙන ජාතික පොසොන් උත්සවය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. 

ජාතික පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය සියලු‍ කටයුතු මේ වනවිට සූදානම් කරමින් පවතින බව පොසොන් කමිටුව සඳහන් කළා. 

මේ අතර පොසොන් සතිය වෙනුවෙන් අනුරාධපුරයේ පාසල් කිහිපයක් ලබන 12 වනදා දක්වා වසා තැබෙන බව, උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කළා.