පශූ වෛද්‍යවරුත් අනිද්දා වර්ජනයේ

පරිපූරක වෛද්‍ය සේවා 05 ක් එක්ව ආරම්භ කළ වර්ජනයෙන් සේවා 04 ක සේවකයින් අද පෙරවරු 08 වර්ජනය අවසන් කළ ද සායන කටයුතු ඇතුලු රෝහල් පරීක්‍ෂණ කටයුතුවලට බාධා එල්ලවී ඇති බව ප්‍රතිකාර ලබා ගැනිම සදහා පැමිණි රෝගීන් පවසනවා. 

ඔවුන් කියා සිටියේ වර්ජනයට එක්ව සිටි කාර්යමණ්ඩල නොමැතිවීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි. 

වෘත්තීය ගැටලූ කිහිපයක් මුල්කර ගනිමින් පෙරේදා උදෑසන 08 ට පරිපූරක වෛද්‍ය වෘත්තීන් 05 ක් එක්ව වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කළ අතර මේ හේතුවෙන් රෝගීන් පත්වුණේ දැඩි අපහසුතාවයකටයි. 

කෙසේ වෙතත් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ නියෝජිතයින් ඊයේ පස්වරුවේ රැස්වී මෙම වර්ජනය අත්හිටුවීමට තීරණය කළත් ඔවුන් සමග වර්ජනයට එක්වූ වෛද්‍ය, රසායනාගාර වෘත්තීකයින් පමණක් තවදුරටත් වර්ජන ක්‍රියාමාර්ගයේ නිරතවීමට තීරණය කරනු ලැබුවා. 

මේ අතර සේවා ව්‍යස්ථාවේ පවතින ගැටලු‍ වලට විසදුම් ඉල්ලා රජයේ පශූ වෛද්‍ය නිලධාරි සංගමය අනිද්දා සංකේත වර්ජනයක නිරත වන බව කොළඔ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති උපුල් රංජිත් කුමාර කියා සිටියා.