නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 2,123ක පමණ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය, මොහොත්තුවාරම් වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව අද (2025 ජුනි 05) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් දෙදහස් එකසිය විසිතුනක (2,123) පමණ තොගයක් එම ප්‍රදේශයේ ලඳු කැලෑවක් තුල සඟවා තිබියදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය විසින් එම ආයතනයට අනුයුක්ත මැරීන් බළකායේ කණ්ඩායමක් යොදවා සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, මොහොත්තුවාරම් වෙරළ ප්‍රදේශයේ ලඳු කැලෑවක සඟවා තිබූ සැකකටයුතු උර 64ක් පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, එම උර තුල තිබී නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ජාවාරම් කරුවන් විසින් සඟවා තබා ඇති බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් දෙදහස් එකසිය විසිතුනක (2,123) පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණි.

තවද, නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොග‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු විශේෂ ඒකකය වෙත භාර දීමට නියමිතව ඇති අතර, මෙම මෙහෙයුමත් සමඟ, 2025 වර්ෂයේ මේ දක්වා සිදුකල මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් දහනව දහසකට (19,000) අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇත.