සෞඛ්‍ය සේවා පද්ධතිය ඩිජිටල්කරණය කරන පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත් කිරීම අද

මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත් කිරීම අද (05) සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණ ව්‍යාපෘතිය යටතේ පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය (Cluster Health Information System – CHIS) දියත් කිරීම සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධාන්වයෙන් අද (05) පෙරවරුවේ තඹුත්තේගම මූලික රෝහල කේන්ද්‍ර කර ගනිමින් දියත් කිරීමට නියමිතයි.

රට තුළ සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධානය කිරීමේ විශාල සැලැස්මක කොටසක් වන මෙම සෞඛ්‍ය පද්ධතිය තුළින් සම්පත් වඩා හොඳින් භාවිතා කිරීමටත්, වඩාත් සංවිධානාත්මක සත්කාර ලබාදීමටත්, එමෙන්ම දත්ත මත පදනම් වූ තීරණ වේගවත්ව ලබාදීමටත් හැකියාව ලැබෙන බවයි සඳහන් වෙන්නේ.

මෙම පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය මඟින් ඉහළම විශේෂඥ සත්කාර සපයන රෝහලක් වටා අසල ඇති රෝහල් සහ සායන “පොකුරු” ලෙස කාණ්ඩගත කරන අතර, එමගින් රෝහල් සහ සායනවල සිටින බලයලත් වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට රෝගියාගේ සෞඛ්‍ය වාර්තා, X-ray ඡායාරූප, රසායනාගාර පරීක්ෂණ ප්‍රතිඵල, බෙහෙත් වට්ටෝරු සහ ප්‍රතිකාර මෙන්ම රෝග ඉතිහාසය පිළිබඳව දත්ත අධ්‍යයනයට ඉඩ සලසනවා.

එමගින්  රෝගියාගේ සෞඛ්‍යය පිළිබඳ නිසි දත්ත සහ කරුණු ඉතා කෙටි කාලයක් තුළ අධ්‍යයනය කළ හැකි බැවින් නිවැරදි ප්‍රතිකාර ලබා දීම ද පහසු කරන අතර, කාර්යක්ෂම සහ රෝගීන්ට හිතකර සෞඛ්‍ය සේවා පද්ධතියක් නිර්මාණය කිරීමට ද මෙය උපකාරී වනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.