දකුණු පළාතේ සිදුවූ අපරාධයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයට අවශ්‍යව සිටින සැකකරුවන් දෙදෙනෙකුගේ AI තාක්ෂණයෙන් නිර්මාණය කළ ඡායාරූප දෙකක් පොලිස් මූලස්ථානය ඊයේ (02) මාධ්‍යයට නිකුත් කළේය.
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ මෙසේ AI තාක්ෂණයෙන් නිර්මාණය කළ සැකකරුවන්ගේ ඡායාරූප මාධ්‍යයට නිකුත් කළ පළමු අවස්ථාව වන්නේ මෙයයි.
යම් අපරාධයකට සම්බන්ධ අපරාධකරු පැහැදිලිවම නම් ගම් සහිතව හඳුනා ගැනීමක් සිදු නොවන අවස්ථාවකදී අපරාධකරුගේ රූපය ඇසින් දුටු පුද්ගලයන් ලබාදෙන රූප විස්තරය අනුව කොළඹ 07 ටොරින්ටන්හි පිහිටි අපරාධ ලේඛනාගාරයේ සේවයේ නිරත පොලිස් චිත්‍ර ශිල්පීන් අනුමාන රූපයක් නිර්මාණය කරනු ලබති. එසේ නිර්මාණය කරන රූපයට AI තාක්ෂණය යොදා ගැනීමක් මේ වන විට සිදුව ඇති බව අපරාධ ලේඛනාගාරයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් කුමාර මහතා දිනමිණ කළ විමසුමකදී සඳහන් කළේය. AI තාක්ෂණයෙන් අපරාධකරුවන්ගේ රූපය නිර්මාණය කිරීම සම්බන්ධයෙන් මේ වන විට ලෝකයේ භාවිත වන මෘදුකාංගය මෙරටට ගැළපෙන ආකාරයට සකස් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් ඇති බවත් ඉදිරියේදී මෙම තාක්ෂණය ශ්‍රී ලංකා පොලීසියේ වෙනසක් සිදු කරනු ඇති බවත් ඔහු අපේක්ෂා කළේය.
AI තාක්ෂණයෙන් නිර්මාණය කළ මෙම ඡායාරූපයේ දැක්වෙන සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරිවරයාට 071 – 8592867 දුරකතන අංකයෙන් හෝ එම ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ 074 – 1357642 දුරකතන අංකයට තොරතුරු ලබාදෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ගයාන් කුමාර වීරසිංහ