ජාවාරම්කාර කළු යාන්ත්‍රණය සම්පූර්ණයෙන් බිඳ දැමීමට කටයුතු කරනවා – ජනපති

බදු ගෙවන සියලු දෙනාගේ සෑම රුපියලක්ම ආරක්ෂා කරන බවට තමා සහතික වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව මහජනතාවගේ මුදල් නාස්තිය අවම කරන බවට ලබාදෙන පළමු ආදර්ශය එය බවයි ‘බදු ශක්ති’ නමින් ක්‍රියාත්මක වන බදු සතිය ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

රට තුළ සාමකාමී පද්ධතියක් පෙනෙන්නට තිබුණ ද ඊට යටින් කළු පද්ධතියක් ඇති බවත්, එම කළු පද්ධතිය යම් ජාවාරම්කාර ව්‍යාපාරික ප්‍රජාවක් නියෝජනය කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

එසේම එම කළු යාන්ත්‍රණය තුළ දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරීන්, නීති විරෝධී සන්නද්ධ අවි ගත් පුද්ගලයින් හා මාධ්‍ය ද ඇති බවද, මෙම කළු යාන්ත්‍රණය බිඳින බවට ජනතාවට තමන් සහතිකයක් ලබාදෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

සියලු දෙනාම නීතියට යටත්වන පරිසරයක් නිර්මාණය කරන බවත්, බදු ගෙවීමට සෑම පුද්ගලයෙකුටම ආරාධනා කරන බවත්, ඔවුන් ගෙවන බදු මුදල් සෑම රුපියලක්ම ආරක්ෂා කරන බවයි ජනාධිපතිවරයා පවසා සිටියේ.

එක රුපියලක් හෝ නාස්ති කරනවා හෝ වංචා කරනවා නම්, ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට උපරිම මැදිහත්වීම සහතික කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.