අබුඩාබි ජාතික තෙල් සමාගමේ නියෝජිතයෝ ශ්‍රී ලංකාවට

අබුඩාබි ජාතික තෙල් සමාගමේ (Abu Dhabi National Oil Company) නියෝජිතයන් සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහත්වරුන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගියදා (30) පැවැත්විණි.

දෙරට අතර ඛනිජ තෙල් කර්මාන්තය සම්බන්ධයෙන් වූ සැපයුම් සහ ආයෝජන අවස්ථා හඳුනාගෙන ඉදිරි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය බොරතෙල් දීර්ඝකාලීනව සාධාරණ මිලකට ගැනීමට දෙරට අතර කඩිනම් ගිවිසුමක් ඇති කර ගැනීම මෙන්ම මෙරට තෙල් පිරිපහදු කටයුතු සංවර්ධනය සහ එමඟින් කලාපීය පිරිපහදු ඛනිජ තෙල් වෙළෙඳපොළ තුළ සැලකිය යුතු පංගුවක් අත්පත් කර ගැනීම පිළිබඳව ද සාකච්ඡාවට බඳුන් විය.

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල් අමේරි ( Khaled Nasser Al Ameri) මහතා සහ අබුඩාබි ජාතික තෙල් සමාගමේ Crude and Condensate හි ජ්‍යෙෂ්ඨ උප සභාපති අබ්දුල්ලා අල් කුබායිසි (Abdulla al Qubaisi) මහතා ඇතුළු විධායක නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

උපාලි කරුණාරත්න