ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය නිව්යෝර්ක් අධිකරණයෙන් අත්හිටුවයි

ලෝක ආර්ථිකය උඩුයටිකුරු කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කරනු ලැබු විදේශීය බදු ප්‍රතිපත්තිය අත්හිටුවීමට එරට අධිකරණයක් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නිව්යෝර්ක් නුවර පිහිටි ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු සඳහා වන අධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය මේ නියෝගය සිදු කර ඇත්තේ අමෙරිකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා බදු පැනැවීමේදී ජනාධිපතිවරයා සිය බලතල ඉක්මවා කටයුතු කර ඇති බවට නිගමනය කරමින් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ආනයනික භාණ්ඩ සඳහා ඉහළ බදු පැනවීම සිදු කරනු ලැබුවේ 1977 ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පනත යටතේ බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ද, තීරුබදු සම්බන්ධව කටයුතු කිරීමට එම පනතෙන් බලය ලබා දී නැති බව ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයේ නිරීක්ෂණයට ලක්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය යටතේ චීනය, මෙක්සිකෝව සහ කැනඩාවට පනවනු ලැබූ බදු වෙන් වෙන් වශයෙන් අත්හිටුවීමට ද අධිකරණය නියම කර ඇතැයි වාර්තා වේ.

හදිසි ජාතික අවශ්‍යතාවක් සම්බන්ධව ක්‍රියා කළ යුතු නිවැරැදි ආකාරය ගැන ඡන්දයකින් තේරී පත් නොවූ විනිසුරුවරුන්ට තීරණය කළ නොහැකි බව කියමින් ට්‍රම්ප් පරිපාලනය ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර, අධිකරණය තීන්දුවට අනුව දැනට පනවා ඇති තීරුබදු අත්හිටුවන බවට මෙතෙක් ප්‍රකාශ කර නැති බව වාර්තා වේ.