සබරගමුවේ නවකවද සිදුවීම සම්බන්ධයෙන් නීතීඥ සංගමයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ චරිත් දිල්ෂාන් දයානන්ද බරපතළ නවකවද සිද්ධියකට මුහුණ පා, සිය දිවි නසාගැනීමේ සිද්ධිය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වා වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඊට අමතරව විශ්වවිද්‍යාල ඇතුළු රාජ්‍ය අධ්‍යාපන ආයතන තුළ නවකවදය පිටු දැකීමේ වැඩපිළිවෙලක් සකස්කරන ලෙස බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි නීතීඥ සංගමය සිය පෙත්සම මඟින් ඉල්ලා තිබෙන්නේ.

එහි වගඋත්තරකරුවන් ලෙස සබරගමුව විශවවිද්‍යාලය, එහි උපකුලපතිවරයා ඇතුළු පාලක සභාවේ සාමාජිකයින්, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක ලේකම්, පොලිස්පති, වැඩබලන පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා, නීතිපතිවරයා ඇතුළු 69 දෙනෙකු නම් කර තිබෙනවා.

නීතිඥ ජී.ජී. අරුල් ප්‍රගාසම් මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම තුළින් සඳහන් කර තිබෙන්නේ ඉකුත්දා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වන චරිත් දිල්ෂාන් දයානන්ද නමැති තරුණයකු බරපතළ ලෙස නවකවදයකට මුහුණ දී මරණයට පත්වීමේ සිද්ධිය පිළිබඳව සලකා බලා මෙම මහජන සුභසාධන නඩුකරය ඉදිරිපත් කිරීමට තීරණය කළ බවයි.

එමෙන්ම විශ්වවිද්‍යාල තුළ නවක වදය පිටුදැකීම සඳහා පවතින නීති හා රෙගුලාසි ක්‍රියාත්මක කරන ලෙස ඒවායේ බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් එවැනි වැරදි ක්‍රියා කරන පුද්ගලයින්ට එරෙහිව 1998 අංක 20 දරණ නවකවදය වැළැක්වීමේ පනත යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර සංගමය අධිකරණයෙන් ඉල්ලා ඇති අතර ඊට අමතරව නවකවදයෙන් සිසුන් පීඩාවට පත්වීම වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙසත් ඊට අමතරව එවැනි සිද්ධීන්වලින් පීඩාවට පත්වන සිසුන්ට වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත යටතේ අවශ්‍ය ආරක්ෂාව ලබාදිය යුතු බවටත් නියෝගයක් නිකුත් කරන ලෙසයි නීතීඥ සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.