විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් (Ransomware Attack) එල්ල වීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම සයිබර් ප්‍රහාරය එල්ල වූයේ අප්‍රේල් මාසයේ මුල් සතියේ බවයි ඔවුන් සඳහන් කරන්නේ.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව 2016 වසරේ පමණ සිට විශ්‍රාම වැටුප් කළමනාකරණ පද්ධතිය හරහා මාර්ගගතව සේවා සැපයූ බවත්, දෙපාර්තමේන්තුව තුළ සයිබර් ආරක්ෂණ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කර තිබුණද, මෙවැනි සයිබර් ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SL CERT) විමර්ශනයක් ආරම්භ කළ බවත් ඔවුන් සිය නිවේදනය මඟින් පෙන්වා දී තිබෙනවා.
කෙසේවෙතත් මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් දෙපාර්තමේන්තුවේ කිසිදු මාර්ගගත තොරතුරු පද්ධතියක කටයුතු අඩාල වීමක් සිදුනොවන පරිදි නැවත යථා තත්ත්වයට පත්කර ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.
මෙම තොරතුරු පද්ධතින් නැවත ක්‍රියාත්මක කිරීමේදී කිසිදු දත්ත හානි වීමක් හෝ අහිමිවීමක් සිදු වී නොමැති බවත් අයවැය යෝජනා අනුව ක්‍රියාත්මක කිරීමට නියමිත විශ්‍රාම වැටුප් සංශෝධන සඳහා කිසිදු තාක්ෂණික බාධාවක් නොමැති බවත් ඔවුන් සඳහන් කරනවා.
විශ්‍රාමිකයන්ගේ තොරතුරු බාහිරයට නිරාවරණය වීම පිළිබඳව විමර්ශනයක් ක්‍රියාත්මක අතර දෙපාර්තමේන්තුවේ සේවාලාභීන් වෙත අගතියක් ඇති නොවීම පිණිස ගත හැකි ක්‍රියාමාර්ගවලට යොමුවන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අදාළ නිවේදනය පහතින්.
