මහින්දානන්දට වසර 20 ක සිර දඬුවම් නියම කෙරේ

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් බෝඩ් 11,000 ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53 ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ තවත් දෙදෙනෙක් එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබෙනවා.

ඒ අනුව හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේට බරපතළ වැඩසහිත වසර 20 ක සිර දඬුවම් නියම කර ඇති බවයි වාර්තා වෙන්නේ.

තීන්දුව නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය, මෙම විත්තිකරුවන් තම ධුරයේ බලතල අයුතු ලෙස පරිහරණය කරමින් වැරදි ක්‍රියාවක් සිදුකර ඇති බවද, මෙම වරද හේතුවෙන් මහජන බදු මුදලින් අයකරගෙන තිබූ රුපියල් මිලියන 53 කට අධික මුදලක් රජයට අහිමි වී ඇති අතර, ඉන් මහජනතාවට විශාල පාඩුවක් සිදුවූ බවද සඳහන් කර තිබෙනවා.

මේ හේතුවෙන් මෙවැනි වැරදි සිදු කිරීමට සූදානම් වන පුද්ගලයින්ට පාඩමක් කියාදෙන ආකාරයේ සහ දූෂණ විරෝධී පුද්ගලයින් අභිප්‍රේරණය වන ආකාරයේ තීන්දුවක් ලබාදෙන ලෙසත් අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිට තිබෙනවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.