තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට

ස්වකීය පාලන කලාපයක් ලෙස චීනය විසින් හඳුන්වනු ලබන තායිවානයේ මුහුදු සීමාව සහ ගුවන් සීමාව තුළ චීන හමුදා අභ්‍යාස මේ මාසයේදී වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මැයි මාසයේ මේ දක්වා ගතවූ කාලය ඇතුළත චීන හමුදා ගුවන්යානා අවස්ථා 355කදී සහ යුද නෞකා අවස්ථා 215කදී තායිවාන සමුද්‍ර සන්ධියේ මධ්‍යම රේඛාව පසුකළ බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. වසර 2020 සැප්තැම්බර් මාසයෙන් පසු චීනය විසින් තායිවානය ආසන්නයේ හමුදා ක්‍රියාකාරකම් වැඩි ප්‍රමාණයක් සිදු කළ පළමු අවස්ථාව මෙය බව ද තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. යුද්ධය හා සාම කාලය අතර සිදුවන ක්‍රියාකාරකම් ලෙස හඳුන්වනු ලබන ‘අළු කලාප උපක්‍රම’ බහුලව භාවිත කරමින් චීන හමුදාව එම හමුදා ක්‍රියාකාරකම් සිදු කරන බව ද වාර්තා වේ. පසුගිය සති අන්තයේ සිකුරාදා හා සෙනසුරාදා දෙදින පමණක් චීන මහජන විමුක්ති හමුදාවට අයත් ප්‍රහාරක ගුවන්යානා 8ක් සහ නෞකා 13ක් තායිවාන සමුද්‍ර සන්ධිය ආසන්නයේදී නිරීක්ෂණයට ලක්වූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.