ශ්‍රී ලාංකේය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව මෙරට හඳුන්වාදී එය ජාත්‍යන්තරය දක්වා රැගෙන ගිය ග්වේන් හේරත් මහත්මිය අද දැයෙන් සමුගනී.
තම ජීවිතයෙන් වැඩි කාලයක් කාන්තා ක්‍රිකට් දියුණුව වෙනුවෙන් කැප කළ හේරත් මහත්මිය පසුගියදා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන ප්රදානෝත්සවයකදී ජීවිතයටම එක්වරක් පමණක් පිදෙන ගෞරවනීය සම්මානයෙන් පිදුම් ලැබීම ඇයගේ සේවයේ මහිමය සනාථ කරන්නකි. ඇයට එම වටිනා සම්මානය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා විසින් පිරිනමන ලද්දේ රුපියල් ලක්ෂ 5ක මුදලක් තෑග්ගක් ද සමඟිනි.
හිටපු ප්‍රබල ඇමැතිවරයකු වූ හැරල්ඩ් හේරත් මහතාගේ ප්‍රිය බිරිය වුවද ක්‍රීඩාවට දේශපාලනය ඈඳෑ ගැනීමට තරයේ විරුද්ධවූ කාන්තාවක් ලෙස ග්වේන් හේරත් මහත්මිය ප්රකටය. පුත්තලම දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති ලෙස පත්වූ පළමු කාන්තාව වූ ඇය එම තනතුරේ වසර 15ක් කටයුතු කරමින් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව නව මාවතකට යොමු කළාය.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංගමයේ නිර්මාතෘවරිය සහ මුල්ම සභාපතිනිය වූ ඇය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තරයට ගෙනයමින් 1997 වසරේ නොවැම්බර් 25 වැනිදා නෙදර්ලන්තයට එරෙහිව කොළඹදී ශ්‍රී ලංකා කාන්තා පිලට එක්දින තරග වරම් ලබාදීමට අවශ්‍ය කටයුතු ඉටු කළාය.
හේරත් මහත්මිය පිහිටවූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංගමයට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ පිළිගැනීම ලැබීමත් සමඟ 1997දී කල්කටාවේ පැවති කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල එක්වූවේය. ග්වේන් හේරත් මහත්මියගේ සභාපතිත්වය යටතේ 1997, 2000 සහ 2005දී ලෝක කුසලාන තරගාවලි තුනකට සහභාගිවීම මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ වැදගත් සංධිස්ථානයක් වේ.
හේරත් මහත්මියගේ දේහය කොළඹ පිහිටි මල්ශාලාවක තැන්පත් කර ඇති අතර, අද පස්වරු 3ට බොරැල්ල කනත්තේදී ඇයගේ අවසන් කටයුතු සිදු කෙරේ.
ප්‍රින්ස් ගුණසේකර