පරිපූරක වෛද්‍ය සේවයට අයත් වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් සහ භෞත චිකිත්සක වෘත්තිකයින් ආරම්භ කළ වර්ජනය අද උදෑසන 8ට තාවකාලිකව අත්හිටුවන බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවීකුමුදේශ් ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බවයි.
කෙසේවෙතත් බලධාරීන් සිය ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබා නොදෙන්නේ නම් ලබන සතියේදී ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණය වීමට මෙම සාකච්ඡාවේදී එකගතාවයකට පැමිණි අතර ඒ සම්බන්ධයෙන් අද තවදුරටත් වෘත්තීය සමිති සාකච්ඡා කරනු ඇති.
පෞද්ගලික විශ්වවිද්‍යාලවල උපාධිධාරීන් පිරිසකට අද දිනයේ සම සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව වෛද්‍ය රසායනාගාර සහ භෞත චිකිත්සක පත්වීම් දීමට එරෙහි පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් ඊයේ උදෑසන 8ට වර්ජනයක් ආරම්භ කර තිබුණා.
කෙසේවෙතත් සම සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව වෛද්‍ය රසායනාගාර සහ භෞත චිකිත්සක තනතුරු පිරිනැමීම වළක්වාලමින් අභියාචනාධිකරණය ඊයේ අතුරු නියෝගයක් නිකුත් කළා.
පෙත්සම යළි ලබන 11 වනදා කැඳවීමට නියමිත අතර එදින තෙක් මෙම පත්වීම් ලබාදීමට අදාළව දැනට පවතින තත්ත්වය ඒ ආකාරයෙන්ම පවත්වා ගන්නා ලෙසත් අධිකරණය විසින් කළ නියෝගයේ දැක්වෙනවා.
මෙම පත්වීම් පිරිනැමීම හේතුවෙන් අසාධාරණයට පත්වන උපාධිධාරින් 270 දෙනෙකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේ.
මේ අතර, ඊයේ ක්‍රියාත්මක වර්ජනයෙන් රෝහල්වල ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි ඇතැම් රෝගීන් පීඩාවට පත්වුණා. පිළිකා රෝහල්, මාතෘ සහ ළමා රෝහල්, මධ්‍යම ලේ බැංකුව ඇතුළු විශේෂිත ඒකක වර්ජන ක්‍රියාත්මක වූයේ නැහැ.
මේ අතර, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කළ කුසලතා පදනම මත සම සෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බදවා ගැනීමේ පටිපාටියක් සකසන ලෙස ඉල්ලා සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී විද්‍යා එකමුතුව හා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලය කොළඹදී ඊයේ විරෝධතාවක නිරත වුණා.
පසුව ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය අසළට ගොස් විරෝධතාවයක නිරත වූ අතර එහිදී අන්තරේ කැදවුම්කරු මධුශාන් චන්ද්‍රජිත් ඇතුළු තිදෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයට යාමට අවස්ථාව හිමි වුණා.