නේපාල ජාතික කඳු නැඟීමේ මඟ පෙන්වන්නකු වන ශර්පා කමි රිටා වැඩිම වාර ගණනක් එවර්ස්ට් කන්ද තරණය කිරිමේ ඔහුගේම ලෝක වාර්තාව අලුත් කිරීමට සමත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය යුද හමුදාවේ නිලධාරීන් කණ්ඩායමකට මඟ පෙන්වමින් කඳු මුදුනට ගිය 55 හැවිරිදි ශර්පා මීටර් 8,894ක් උසැති එවරස්ට් කන්ද මෙවර තරණය කරනු ලැබුවේ 31 වැනි වතාවට බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ඔහු 1994 දී සිය ජීවිකා වෘත්තිය සඳහා සංචාරකයන්ට මඟ පෙන්වන්නකු ලෙස පළමුවරට එවරස්ට් කන්ද තරණය කළ බවත්, ඇතැම් වසරවල දෙවතාවක් බැගින් එවරස්ට් තරණය කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඔහු මෙන්ම සංචාරකයන්ට මඟ පෙන්වන තවත් නේපාල ජාතිකයකු වන ශර්පා පසාං අවස්ථා 29කදී එවර්ස්ට් තරණය කරමින් ශර්පා කමි රිටාගේ ආසන්නතම ප්‍රතිවාදියා බවට පත්වී සිටින බව වාර්තා වේ.