යූරියා මෙට්‍රික්ටොන් 15,000 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය පොහොර සමාගම මගින් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 15,000ක් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

පෞද්ගලික අංශය සමග තරගකාරීව ගොවීන්ට පොහොර සැපයීමේ අරමුණින්, 2023/24 මහ කන්නයේ සිට පොහොර ආනයනය කර අලෙවි කිරීමට මෙම රාජ්‍ය සමාගමට මීට පෙර (2023 ජූලි 17 දින) අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණු බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, ඉදිරි වගා කන්නය සඳහා අවශ්‍ය මෙම යූරියා තොගය, ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීම් ක්‍රමවේදය යටතේ ආනයනය කිරීමට නියමිත අතර, විවෘත වෙළෙඳපොළ තුළ සෘජු පොහොර ලෙසත්, මිශ්‍ර පොහොර ලෙසත් මෙය අලෙවි කිරීමට සැලසුම් කර තිබෙනවා.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.