පළාත් පාලන මැතිවරණයේ ආදායම් සහ වියදම් වාර්තා භාරදීම අදින් අවසන් වෙයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ වියදම් නියාමන පනත යටතේ භාරදිය යුතු ආදායම් සහ වියදම් වාර්තා භාරදීමේ අවසන් දිනය අද (27) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මෙතෙක් එම වාර්තා භාර දී නොමැති දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල සියලුම අපේක්ෂකයින්, තමන්ගේ ආදායම් සහ වියදම් වාර්තා අද මධ්‍යම රාත්‍රි 12.00 ට පෙර තමන් ඉදිරිපත් වූ දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරීවරයා වෙත භාර දිය යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

අදාළ කාලය කිසි ලෙසකින් දීර්ඝ නොකරන බවත්, පනත ප්‍රකාරව ඡන්ද විමසීම අවසන් වී දින 21ක් ඇතුළත වියදම් වාර්තා භාරදීම සිදුකළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.