නොනිදන කොළඹ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

කොළඹ නගරයේ රාත්‍රී කාලයේ සංචාරක කටයුතු නංවාලීමෙන් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් “නොනිදන කොළඹ” නමින් නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා.

“සමුද්‍රීය මාර්ගයේ රාත්‍රී යාමය: නොනිදන කොළඹ” (Marine Nights: Awakening Colombo) යන තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන අතර, මෙමගින් කොළඹ නගරය වෙත පැමිණෙන සංචාරකයින්ට ලැබෙන අත්දැකීම් ප්‍රමාණය වැඩි කර, සංචාරක කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම අපේක්ෂා කෙරෙනවා.

මෙම ව්‍යාපෘතිය මගින් කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ සිට දෙහිවල දක්වා විහිදෙන කිලෝමීටර 7.4ක පමණ දුරකින් යුත් කොළඹ සමුද්‍රීය මාර්ගය (Marine Drive) සංවර්ධනය කිරීමට නියමිතයි.

එහිදී ගාලු මුවදොර කෙළවරේ සිට ශාන්ත තෝමස් ප්‍රාථමික පාසල දක්වා වූ මීටර 400ක පමණ කොටස පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට අපේක්ෂා කෙරෙන බවයි සඳහන් වන්නේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත.