කෝච්චි සතියක් දෙකක් නවත්තලා හරි අපි මේක හදනවා – ප්‍රවාහන න‍ියෝජ්‍ය ඇමති

පසුගිය දින දෙක තුළ සිදුවූ දුම්රිය අවලංගුවීම් බහුතරයකට හේතුව, දුම්රිය රියදුරන්ගේ කුඩා කණ්ඩායමක් කඩාකප්පල්කාරී සහ සැළසුම් සහගත ලෙස නිවාඩු ලබාගැනීමේ ක්‍රියාවක් නිසා බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

ඒ අනුව, පසුගිය 25 වැනිදා දින  දෛනික දුම්රිය ගමන්වාර 216කින් ගමන්වාර 38ක් අවලංගු වී ඇති අතර, ඉන් ගමන් වාර 35ක් අවලංගු වී ඇත්තේ දුම්රිය රියදුරන් නිවාඩු ගැනීම නිසා බවයි ඔහු සඳහන් කළේ.

ඊයේ (26) උදෑසන අවලංගු වූ දුම්රිය 15ක් අවලංගු වී ඇත්තේ ද එම හේතුව නිසා බවද, මේ හේතුවෙන් රාජකාරී සඳහා පැමිණෙන මගී ජනතාව දැඩි අපහසුතාවට පත්වූ බවද ඔහු පෙන්වා දෙනවා.

මෙය දේශපාලන අරමුණිකින් සිදුකළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත්, එය සිදුකළ අය කවුරුන්දැයි නම් වශයෙන් හඳුනාගෙන ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

අදාළ නිවාඩු ලබාගත් රියදුරන්ගෙන් නිදහසට කරුණු විමසන අතර, සති දෙකක් හෝ දුම්රිය ධාවනය නවත්වා මෙම තත්ත්වය යථා තත්ත්වයට පත් කරන බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.