ජනතා බදු මුදලින් පඩි ගන්නා රාජ්‍ය සේවකයන් වැටුපට සරිලන සේවයක් කළ යුතුයි

රාජ්‍ය සේවකයන්ට වැටුප් දෙන්නේ ජනතා බදු මුදලින් බැවින් රජය දරන වැටුප් වියදමට සරිලන අයුරින් සියලු දෙනාම සේවය කළ යුතු බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පැවැසීය.

ඇමැතිවරයා එසේ පැවසුවේ බත්තරමුල්ල සුහුරුපායේ දී පෙරේදා (21) පැවැති සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමයේ 28 වැනි ජාතික සම්මේලනයට සහභාගි වූ අවස්ථාවේදීය.

මෙහි දී ඇදහස් දැක්වූ ඇමැතිවරයා සමෘද්ධි ව්‍යාපාරයේ බොහෝ ගැටලු ක්‍රමානුකූලව විසඳන බවත් නව ආණ්ඩුවේ ජනවරම සියලු රාජ්‍ය සේවකයන් වටහා ගනිමින් කටයුතු කළ යුතු බවත් පෙන්වා දුන්නේය.

සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමයේ සභාපති සෝමසිරි ලියනගේ මහතා අදහස් දක්වමින්, සමෘද්ධි ව්‍යාපාරය සහ සේවකයන් පසුගිය රජයන් සමයන්හිදී මුහුණ දුන් පීඩාකාරී වතාවරණයන්ගෙන් මිදෙන්නට නව රජය සමඟ සමෘද්ධි ව්‍යාපාරය අත්වැල් බැඳගැනීම ඓතිහාසික අවස්ථාවක් ලෙස හඳුන්වා දිය හැකියි.

නව රජය සමෘද්ධි ව්‍යාපාරයේ ගැටලු දැනටමත් විසඳමින් සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම සම්මේලනයේදී සමෘද්ධි නිලධාරින්ගේ සංගමයේ ලේකම් චාමර කලු මද්දුගේ, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලේඛා ගීතාංජලී පෙරේරා යන මහත්ම මහත්මීන්ද අදහස් දැක්වූහ.

දිවයින පුරා සමෘද්ධි වැඩසටහන සඳහා නායකත්වය දෙන කළමනාකරුවන් දහසක් පමණද සමිති නායකයන් කීපදෙනෙක්ද වෘත්තීය සමිති නායකයන් කිහිප දෙනෙක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.