අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් අගමැතිනිය හමුවෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් අතර හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදුවී තිබෙනවා.

එක්සත් ජනපද විදේශ ආධාර ශ්‍රී ලංකාවට ලබාදීමේ ක්‍රමවේදයන් සහ දෙරට අතර තිරසර සහයෝගීතාව සඳහා දායක විය හැකි මාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ගත් බවයි අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ.

එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් පුළුල් සමාලෝචනයක් බලාපොරොත්තුවෙන් සිටින, විදේශ ආධාර සඳහා මෑතකදී පනවා ඇති මාස තුනක තාවකාලික අත්හිටුවීම් නියෝගය පිළිබඳව නියෝජිත පිරිස අග්‍රාමාත්‍යවරියට මෙහිදී කරුණු පැහැදිලි කර ඇති බවයි සදහන් වෙන්නේ.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතා සඳහා අඛණ්ඩ සහයෝගය ලබාදීමට ඇති විකල්ප ක්‍රම හඳුනා ගැනීම සඳහා එක්සත් ජනපදය ගන්නා උත්සාහය පිළිබඳ මෙහිදී අග්‍රාමාත්‍යවරියගේ විශේෂ අවධානය යොමුවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.