චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ වූ කුමාරි අනුරාධිනී යන අයට කොළඹ මහාධිකරණය විසින් අත්හිටවූ සිරදඬුවම් සහ දඩ මුදල් නියම කර තිබෙනවා.
නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස්, රුපියල් දහසය කෝටි හතළිස් එක් ලක්ෂයකට අධික මුදලක් මහජනතාවගෙන් තැන්පතු ලෙස භාර ගැනීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණු අතර, එම චෝදනාවලට ඔවුන් වරද පිළිගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව එක් එක් විත්තිකරුට බරපතළ වැඩ සහිත වසරක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ එම සිර දඬුවම වසර 10 කට අත්හිටුවන බවත්, ඊට අමතරව විත්තිකරුවන්ට රුපියල් 25,000 බැගින් දඩ මුදල් නියම කරන බවත් නියෝග කර තිබෙනවා.
මීට පෙර පැමිණිල්ලේ සහ විත්තියේ මෙන්ම අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරු අතර ඇතිවූ එකඟතාවය මත, මෙම විත්තිකරු විසින් තැන්පත්කරුවන්ගෙන් භාරගත් සමස්ත මුදල්වලින් 60% ක් වන නව කෝටි අසූපන් ලක්ෂයකට ආසන්න මුදලක් 2023 වසරේ ජූලි මාසයේ සිට රුපියල් ලක්ෂ පනහ බැගින් වූ මාසික වාරිකවලින් ගෙවා අවසන් කර තිබෙන බවයි ඔහුගේ නීතීඥවරුන් අධිකරණයට දැනුම් දී තිබෙන්නේ.