ශ්‍රී ලංකා ජනරජ දිනය අද (22)යි.
1815දී උඩරට ගිවිසුම හරහා ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් කර ගැනුණු අතර එතැන් පටන් මෙරට පරමාධිකාරී බලය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය වෙත පැවරිණි. එතැන් සිට රට පාලනය කෙරුණේ බ්‍රිතාන්‍යයේ සිහසුන දරන තැනැත්තා හෝ තැනැත්තිය විසින් පත්කර එවනු ලැබූ ආණ්ඩුකාරවරයකු මඟිනි. 1948 පෙබරවාරි 4 වැනි දින ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුණු ද එය ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් විය. තවදුරටත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා වූයේ බ්‍රිතාන්‍ය කිරීටයෙන් පත්කරන ලද අග්‍රාණ්ඩුකාරවරයාය. මෙරට ඇතැම් කරුණු පිළිබඳ අවසන් බලය පැවරී තිබුණේ එංගලන්තයේ ආයතනයන්ටය. බ්‍රිතාන්‍ය කිරීටය වෙනුවෙන් අග්‍රාණ්ඩුකාරවරයා අත්සන් කරනතුරු පාර්ලිමේන්තුව ඒකමතිකව සම්මත කරන පනතක් වුවද නීතිගත වූවේ නැත. විශේෂයෙන්ම මහජන ආරක්ෂක පනත ක්‍රියාත්මක කර හදිසි නීතිය පැනවූ අවස්ථාවේදී සන්නද්ධ සේනාවන්හි සේනාධිනායක වූයේ ආණ්ඩුකාරවරයායි. එසේම ශ්‍රී ලංකාවේ උපරිමාධිකරණ බලය පැවතියේ ද එංගලන්තයේ ප්‍රිවි කවුන්සිලයටය.
මෙම තත්ත්වයෙන් මිදී ශ්‍රී ලංකාව මුළුමනින්ම නිදහස්, පූර්ණ ස්වාධීන රාජ්‍යයක් බවට පත්වූයේ 1972 මැයි 22 දිනයි. ඒ එවකට සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය ප්‍රමුඛ රජය මඟින් සම්මත කර ගත් ජනරජ ව්‍යවස්ථාව මඟිනි. ඒ අනුව ශ්‍රී ලංකාව ජනරජයක් බවට ප්‍රකාශයට පත් කර අදට වසර 53ක් සපිරෙයි.
රන්මලී සෝමසිරි