කටුනායක ඇඟලුම් කර්මාන්ත ශාලාව වසා දැමීමට පෙර, කම්කරු දෙපාර්තමේන්තුව දැනුවත් කර නැහැ – මහින්ද ජයසිංහ

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි NEXT ඇඟලුම් කර්මාන්ත ශාලාව හදිසියේ වසා දැමීම සම්බන්ධයෙන් එම ආයතනය විසින් කම්කරු දෙපාර්තමේන්තුව දැනුවත් කර නොතිබූ බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසනවා.

ඒ අනුව, අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ පාලන අධිකාරිය, වෘත්තීය සමිතිය හා ආයෝජන මණ්ඩලය සම්බන්ධ කර ගනිමින් අද (22) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

සේවකයින්ට වන්දි ලබාදීම සම්බන්ධයෙන් අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාව විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවද, ඒ සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

කර්මාන්ත ශාලාව වසා දැමීමට හේතුවක් ලෙස, අධික පිරිවැයක් වැයවන බවට ඔවුන් සඳහන් කර තිබුණද, මේ සම්බන්ධයෙන් අමාත්‍යංශය සමඟ හෝ ආයෝජන මණ්ඩලය සමඟ ඔවුන් සාකච්ඡා කර නොමැති බවයි අමාත්‍ය මහින්ද ජයසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.