දේශබන්දු වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවන්, පරීක්ෂණ කමිටුව විසින් නිෂ්ප්‍රභ කරයි

සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව විසින් වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා නිෂ්ප්‍රභ කර තිබෙනවා.

ශ්‍රේෂඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේනගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායකගේ සාමාජිකත්වයෙන් මෙම කමිටුව ඊයේ (19) පාර්ලිමේන්තුවේදී රැස් වූ අතර, එහිදී දේශබන්දු තෙන්නකෝන් පළමුවරට පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිට තිබුණා.

මෙහිදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට චෝදනා 23කින් සමන්විත චෝදනා පත්‍රය ලබා දෙන ලද අතර, ඉන් පසු වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආර්.එස්. වීරවික්‍රම විසින් මුලික විරෝධතා ත්‍රිත්වයක් සහ ඉල්ලීම් ද්විත්වයක් ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

එම කරුණු දැක්වීමෙන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල් (ජනාධිපති නීතිඥ) දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා ඒ සම්බන්ධයෙන් සිය විරෝධතාවය සටහන් කර තිබෙනවා.

සියලු කරුණු සලකා බැලු ශ්‍රේෂඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේනගේ සභාපතිත්වයෙන් යුක්ත පරීක්ෂණ කමිටුව විසින් වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා සියල්ල නිෂ්ප්‍රභ කර ඇති අතර, කමිටුව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එළඹෙන 28 වැනිදා පස්වරු 2.00 ට පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 08 හිදී යළි රැස්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.