දේශබන්දු අද චෝදනා විමර්ශන කමිටුවට

සිය ධුරයේ බලතල අනිසි අන්දමින් යොදා ගැනීම සම්බන්ධයෙන් වන චෝදනා විමර්ශනය කිරීම සඳහා පත්කළ කමිටුව හමුවේ දේශබන්දු තෙන්නකෝන් මහතා පළමු වතාවට අද (19) පෙනී සිටීමට නියමිතය. විමර්ශන කමිටුව අද (19) පස්වරු 2.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස් වෙන අතර ඒ අවස්ථාවේදී කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාට දැනුම් දී තිබේ.

එහි දී චෝදනා 22ක් සහිත චෝදනා පත්‍රයක් දේශබන්දු තෙන්නකෝන් මහතාට කමිටුව විසින් භාර දීමට නියමිත අතර තමන් වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය කාලයක්ද ඔහුට ලබා දීමට කමිටුව කටයුතු කරනු ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් මේ කමිටුව විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් සමන්විතය.

මෙම කමිටුව පළමු වතාවට අප්‍රේල් 23දා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අතර ඉන් පසුව පරීක්ෂණ කමිටුව අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්විය. කමිටුවේ සහාය සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක්ද පත් කෙරිණි.

ඒ අනුව අද (19) දේශබන්දු තෙන්නකෝන් මහතා මෙම පරීක්ෂණ කමිටුව හමුවට කැඳවා කරුණු විමසීමට කමිටුව තීරණය කර ඇත.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න