දශක තුනකට අධික කාලයක් මෙරට පැවති LTTE ත්රස්තවාදය පරාජයට පත් කර වසර 16 සපිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ලොව මිලේච්ඡතම කුරිරු ත්රස්තවාදය සහමුලින් නැති කරමින් මේ රටේ සෑම පුරවැසියෙකුටම මාතෘ භූමියේ සෑම බිම් අඟලකම මර බියෙන් තොරව, ආරක්ෂිතව සහ සමාන අයිතිවාසිකම් සහිතව ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම දශක ගණනාවක් පුරා රටක් ලෙස සියලු දෙනා සාමූහිකව දුටු සිහිනයක් බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.
LTTE සංවිධානයට එරෙහිව කළ යුද්ධය දෙමළ ජනතාවට එරෙහි යුද්ධයක් නොවන බවත් දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා රටේ සියලුම ජනතාව අපේ ජනතාව බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
දෙමළ සිවිල් වැසියන් LTTE ත්රස්තවාදීන්ගේ ප්රාණ ඇපකරුවන් බවට පත්ව සිටි අවස්ථාවක, දෙමළ සිවිල් වැසියන් මිනිස් බෝම්බ බවට පත් කර තිබූ අවස්ථාවක, යුධ පිටියට ගොස් ප්රාණ ඇපකරුවන් මුදා ගනිමින් සිදුකරන ලද අති මානුෂීය මෙහෙයුම් ශ්රී ලංකා ත්රිවිධ හමුදාව ලොව දක්ෂතම හා විනයගරුකම හමුදාව බවට පත්කළ බවත් එදා තම ජීවිත බේරාගත් දෙමළ ජනතාව හෘද සාක්ෂියට එකඟව මෙයට සාක්ෂි දරණු ඇති බවත් ඔහු සඳහන් කර තිබෙනවා.
යුද්ධය අවසන් කිරීමෙන් අනතුරුව තමා දණින් වැටී නමස්කාර කළේ රටේ වීරෝධාර රණවිරු දරුවන් දහස් ගණනකගේ ජීවිත පූජාකර රැකගත් ඒ උතුම් නිදහස් මාතෘ භූමියට බවත් මින් ඉදිරියටත්, තමා ජීවත්ව නොසිටින දිනක දී වුවත් අප සැමගේ මාතෘ භූමිය ස්වෛරීය රාජ්යක් ලෙසින් එක සිංහ ධජයක් සෙවණේ පවතීවා! යන්න තමාගේ එකම ප්රාර්ථනය බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කරන්නේ.