දුම්රිය ගැටළුවලට විසඳුම් දී තිබියදීත් සිදුකරන වැඩ වර්ජනය ගැන ප්‍රවාහන අමාත්‍යාංශයේ අප්‍රසාදය

මහජනතාව අපහසුතාවට පත්වන අයුරින් ක්ෂණික වෘත්තිය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්‍රියාකර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ප්‍රවාහන අමාත්‍යාංශය මට්ටමින් ක්‍රියාමාර්ග ගෙන තිබියදී, දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව හා ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම පසෙක දමා, ජනතාව අපහසුතාවට පත්වන අයුරින් ක්ෂණික වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ දැඩි අප්‍රසාදය පළ කරන බවයි ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

ජනතාව අපහසුතාවට පත් කරන මෙම වැඩ වර්ජනය පිටුපස වෙනත් උවමනාවක් තිබේද යන සැකය මතුවන බවත්, ආණ්ඩුව අපහසුතාවට පත්කිරීම හා ජනතාව පීඩාවට පත් කිරීම උත්සාහය බවයි ප්‍රවාහන අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටින්නේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන් 106 දෙනෙකු බඳවා ගැනීමට මාස කිහිපයකට පෙර අනුමැතිය ලබාදී තිබුණ ද, දෙපාර්තමේන්තුවේ යම් උප දෙපාර්තමේන්තු අතර ඇති අකාර්යක්ෂමතාව හේතුවෙන් මේ වනතෙක් නව බඳවා ගැනීම් කිසිවක් සිදුකිරීමට නොහැකි වී ඇති බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ගැටලු විසඳීමට ක්‍රියාමාර්ග ගෙන තිබියදීත් මෙසේ කටයුතු කර ඇති බවයි ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.