ආණ්ඩුවට වෙලා තියෙන්නේ, අද ගුරු පත්වීම ලැබිච්ච මිනිහට ඉස්කෝලේ විදුහල්පතිකම දුන්නා වගේ වැඩක් – විමල්

වත්මන් ආණ්ඩුව කිසිදු දෙයක් දුරදිග බලා තීරණ ගැනීමට නොහැකි ආණ්ඩුවක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

ලුණු පැකට්ටුවක් රුපියල් 60ක් වීමට වසර 76 ක් ගිය බවත්, මාස 07 ක් තුළ ලුණු පැකට්ටුවක් රුපියල් 400 දක්වා ඉහළ ගොස් ඇති බවයි අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

‘පුනරුදයේ රඟ’ කෙසේදැයි ඔහු එහිදී ප්‍රශ්න කර සිටියා.

ලුණු මිල ඉහළ යාමටත් පසුගිය ආණ්ඩු වගකිව යුතු බවට නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ ප්‍රකාශ කර ඇති බව ඔහු පැවසූ අතර, හඳුන්නෙත්ති අමාත්‍යවරයා විවෘත කරන ලද ලුණු කර්මාන්ත ශාලාව වැසී ඇද්දැයි ඔහු ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියා.

වත්මන් ආණ්ඩුවට සිදුව ඇත්තේ අද ගුරු පත්වීම ලබාගත් තැනැත්තෙකුට පාසලේ විදුහල්පති ධුරය දුන් ආකාරයේ වැඩක් බවත්, මෙම ආණ්ඩුව ළිඳ ළඟ සංගමයේ ආණ්ඩුවක් වන අතර, ඕපදූප සොයා වාර්තා කිරිමට හොඳ බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ