රාජකුමාරි ඝාතන නඩු‍වේ විත්තිකරුවන්ට පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින නියම කෙරේ

2023 වසරේ වැලිකඩ පොලීසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබූ ආර්. රාජකුමාරි නමැති ගෘහ පාලිකා සේවයේ නියුතුව සිටි කාන්තාවකට පහරදී මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින වැලිකඩ පොලිසියේ හිටපු නිලධාරින් තුන් දෙනෙකුට එරෙහි පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජූලි මස 21 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

එම නඩුව අද (15) කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම නඩුකරයට අදාළව ඉදිරිපත් කර තිබෙන ඇතැම් ලේඛන තමන්ට ලැබී නොමැති බව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන කඩිනමින් ඔවුන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස විනිසුරුවරයා රජයේ නීතිඥවරියට නියම කර ඇති බවයි සඳහන් වන්නේ.

වැලිකඩ පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරින් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.