ගෝඨාභය, ජීවිත නැති කරනවාට වඩා බලය අත් හැරීම හොඳයි කියලා තීරණය කළා – නාමල්

වත්මන් රජයේ දේශපාලන සංස්කෘතිය තුළ සිවිල් සමාජයේ ඝාතන සිදුවීම සාමාන්‍ය සිදුවීමක් විය හැකි වුවද, තමා ජීවත් වන සංස්කෘතිය තුළ එලෙස ඝාතන සිදුවීම විශාල ගැටලුවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

පුරවැසියාගේ ආරක්ෂාව හා ආර්ථිකය තහවුරු වී නොමැතිව මෙරට ජාතික ආරක්ෂාව තහවුරු වන බවට සිතනවා නම්, එය ආණ්ඩුවට සිදුවූ වැරැද්දක් බවත්, රටේ ජාතික ආරක්ෂාව තහවුරු වීමට නම් පුරවැසියාගේ ආරක්ෂාව හා ආර්ථිකය ස්ථාවරවිය යුතු බවයි හිරු බලය වැඩසටහනට ඊයේ (15) එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

නමුත් වත්මන් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ තුළ ජාතික ආරක්ෂාව හෝ ජාතික ආර්ථිකය ස්ථාවර නොවන බවද, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රජය නිවැරදිව පරීක්ෂණයක් සිදුකළ යුතු බවද, කෙසේ හෝ රාජපක්ෂලාගේ ඇඟේ ගැසීමේ අරමුණින් පරීක්ෂණ සිදු කළහොත් කිසිවෙකුට සාධාරණයක් ඉටු නොවන බවද ඔහු ප්‍රකාශ කළා.

රාජපක්ෂවරුන් රටේ නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටි බවත්, යම් අවස්ථාවලදී එසේ හරි දේ වෙනුවෙන් පෙනී සිටීම යම් කොට්ඨාසයක් විසින් වැරදි ලෙස අර්ථකථනය කළ අවස්ථා ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

අරගලය අවස්ථාවේදී බොහෝ දෙනෙක් එම අරගලයට පහර දී අවසන් කරන ලෙසට ප්‍රකාශ කළද ගෝඨාභය රාජපක්ෂ එලෙස සිදු නොකළ බවත්, ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම හොඳ බව ඔහු සිතූ බවත්, සමහරු එය දුටුවේ ගෝඨාභය පැන ගිය ලෙසට බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.